February, 15, 2015
කට කථාවන්ට සහ හැඟීම්වලට වහල් වී යාපනයේ භූගත ජලය දූෂණය වීමේ ප්‍රශ්නයට වැරදි විසදුම් ගතහොත් ප්රශ්නය තව තවත් උග්‍රවීමේ අවදානමක් පවතින බව උතුරට විදුලි බලය සපයන ‘නෝදර්න් පවර් (පෞද්) සමාගම’ හා එම සමාගමේ මව් සමාගම වන එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී. සමාගම කියයි.
“පොදුවේ මෙරට පරිසරයටත් විශේෂයෙන් යාපනයේ භූගත ජල සම්පත සම්බන්ධයෙනුත් අප විසින් කිසිම හානියක් සිදුකර නැති බවට අප සමාගම නිරන්තරයෙන් ප්‍රතිඥා දෙනවා. සමාජය, පරිසරය සහ සදාචාරය සම්බන්ධයෙන් වගකීමක් ඇති ලාංකීය සමාගමක් ලෙස අතීතයේදී කිසිදු පරිසර හානියක් සිදුකර නැති අතරම අනාගතයේදී එසේ කරන්නේ නෑ.” යැයි එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී. සමාගමෙහි ප්‍රධාන විධායක නිළධාරි ලාල් පෙරේරා මහතා කීය.
“එහෙත් කණගාටුදායක වන්නේ අපට එරෙහිව බොරු චෝදනා නැගීමත් සමගම තෙල් කාන්දු ප්රශ්නයේ මුල හා සම්භවය සෙවීම සඳහා තිබු සැබෑ අවධානය වෙනතකට යොමු වීමයි. මෙනිසා ගැටළුවට සැබෑ විසඳුම් සොයා ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී බාධක බොහෝමයක් ඇතිවීමට හැකියාව තිබෙනවා. අපගේ බිය වන්නේ කටකථා සහ හැඟීම් වලට වහල් වී නගන බොරු චෝදනා නිසා වැරදි පියවර ගැනීමෙන් මෙම ප්රශ්නය තවත් උග්‍රවීමේ හැකියාවක් තිබෙන නිසයි.”
ඔහු පවසන්නේ චූන්නාක්කම් පිළිබඳව යම් සුළු හෝ දැනුමක් තිබූ ඕනෑම අයකු පවා 1987ටත් පෙර යුද සමයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ චූන්නාක්කම්හි පිහිටි තෙල් ටැංකි විනාශ වීම නිසා ඇති වුණු ‘ඔයිල් කුලම’ හෙවත් තෙල් වැව පිහිටා තිබුනේ නෝදර්න් පවර් පරිශ්‍රයේ නොව ලංකා විදුලිබල මණ්ඩල පරිශ්‍රයේ බව දැන සිටී බවයි.
“අවාසනාවකට මෙම අසත්‍ය චෝදනා නගන කිසිවෙක් මෙම තෙල් වැවට සිදුවූයේ කුමක් දැයි සොයා බලා නැහැ. අප විසින් පරික්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික උපදේශක ආයතනයකට භාර දී ඇත්තේද මෙම ප්‍රශ්නයට අපගේ කිසිදු සම්න්බධයක් නොතිබෙන බවට ඇති විශ්වාසය නිසයි.”
“අප විසින් උතුරේ ජනතාවට කරන එකම ඉල්ලීම වන්නේ කට කථා හා අසත්‍ය චෝදනා වලින් වැලකී රජයෙන් සිදු කරන ස්වාධීන පරීක්ෂණයේ ප්‍රතිඵල හා යාපනය මහාධිකරණයේ නඩු තීන්දුව ලැබෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.” ඔහු පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ 2007දී යුද්ධයේ උග්‍ර අවස්ථාවේදී කුඩා දරුවන් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරමින් මුළු යාපන අර්ධ ද්වීපයම අඳුරේ සිටියදි උතුරේ ජනතාවගේ දුක් කම්කටොළු දුරුකිරීමේ එකම අභිලාෂයෙන් විදුලි බලාගාරය තැනීමට භාරගත් බවයි.
“අප විසින් සැමවිටම යාපනයේ ජනතාවට අබ මල් රේණුවක හෝ හානියක් සිදුවනවාට කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සදාචාර සම්පන්න සමාගමක් හැටියට තරයේ විරුද්ධ වෙනවා. තවදුරටත් අසත්‍ය චෝදනා වලට අනුව විකුණා ආදායමක් ඉපයිය හැකි තෙල් සම්පත් පරිසරයට බැහැර කිරීමෙන් අපට අත්වන්නේ මූල්‍ය අවාසියක් පමණයි.”
Video Story