February, 18, 2015
කාර්ගීල්ස් (සිලෝන්) පී.එල්.සී සමාගමට අනුබද්ධ කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් (CFC) සමාගමේ 8% ක කොටස් ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන 2,550 ක මුදල් ආයෝජනය කිරීමට ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) ඉදිරිපත් වී තිබේ.
මෙම ආයෝජනය මගින් බලාපොරොත්තු වන්නේ සමාගම විසින් සිදුකරන සිය ශාඛා ජාලය පුළුල් කිරීමට සහ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට සහාය දැක්වීමයි.
“කාර්ගීල්ස් ෆුඩ්ස් රට පුරාම ව්‍යාප්ත වනවිට ඒ තුළින් බොහෝ රැකියා සහ කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාවන් ඇති වෙනවා.“ යනුවෙන් මෙම ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ ශ්‍රී ලකාව සහ මාලදිවයින වෙනුවෙන් කටයුතු කරන නේවාසික කළමනාකරු, ඇඩම් සැක් මහතා සඳහන් කළේය.
“සමාගමේ සමස්ත සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය සහ තත්ත්වය වර්ධනය කිරීමට අවශ්‍ය ගෝලීය පළපුරුද්ද සහ දැනුම ජාත්‍යන්තර මූල්‍ය සමායතනය විසින් මෙහිදී සපයනවා.“
මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය විසින් සිදුකරන මෙම ආයෝජනය මගින් කාර්ගීල්ස් සමූහයේ සිල්ලර ව්‍යාපාරික අංශයේ අභ්‍යන්තර ක්රියාවලීන්වල තත්ත්වය වඩාත් ඉහළ නැංවෙනු ඇතැයි අපේකේෂා කර ඇත. කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් (CFC) පාරිසරික සහ සමාජ තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් කළමනාතරණ පද්ධතීන් අනුගමනය කිරීමට යොමුව පවතින අතර ග්‍රාමීය තරුණ ප්‍රජාව වෙත රැකියා අවස්ථා විවෘත කිරීමටත් ගොවීන් වෙනුවෙන් තිරසාර වෙළඳ පොළවල් පුළුල් කිරීමටත් කැපවී තිබේ.
“ජාත්‍යන්තර මූල්‍ය සමායතනය වැනි ජාත්‍යන්තරව ඉහළ කීර්තියක් දිනාගෙන තිබෙන ආයතනයක් විසින් අපගේ සිල්ලර ව්‍යාපාර අංශය වෙත ලබාදී තිබෙන මෙම සහතිකය අප සමූහය ලැබූ ඉහළ පිළිගැනීමක්. සමස්ත ශ්‍රී ලංකාවම ඉලක්ක කරගත් තිරසාර ආයොජනයක් සහ වර්ධනයක් තුළින් පාරිභෝගිකයින්, නිෂ්පාදකයින් සහ සමාජය වෙත අගයන් නිර්මාණය කිරීම අපගේ ව්‍යාපාරික ආකෘතිය මෙහෙයවන මූලධර්මයයි. කෙසේවෙතත්, පැවති සාර්ව සහ අයවැය පරිසරය තුළ මෙම සංස්කෘතිය පසුගිය වසර කිහිපයේදී දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සමග අපි අපගේම ව්‍යාපාරික ආකෘතියක් ගොඩනැගීමට කටයුතු කරන අතර එහිදී අපගේ පද්ධතීන් සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කරමින් අපගේ සියළුම කොටස් කරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කරනවා.“
යනුවෙන් මෙහිදී කාර්ගීල්ස් (සිලෝන්) පී.එල්.සී. සමාගමේ නියෝජ්‍ය සභාපති, රන්ජිට් පේජ් මහතා පැවසීය.
නවීන වෙළඳ අංශය ලංකාව තුළ තවමත් පවතින්නේ මූලික අවස්ථාවක වන අතර මෙරට සමස්ත වෙළඳාමෙන් නවීන වෙළඳ අංශයේ කොටස 15% ක් පමණ වේ. කෙසේවෙතත්, මෙම අංශය විසින් මෙරට සැපයුම් දාමය ප්‍රතිසංස්කරණය කිරීමට, ආහාර සුරක්ෂිතතාවය සහ අනර්ඝත්ව තත්ත්වයන් ඉහළ නැංවීමට, ගොවීන්ගේ නැවුම් නිෂ්පාදන මිලදී ගැනීමේදී සාධාරණ මිලක් තීරණය කිරීමට සහ ග්‍රාමීය නගර සංවර්ධනය කිරීමට ඉහළ දායකත්වයක් ලබාදී තිබීම කැපී පෙනේ. ස්ථාවර ආර්ථික වර්ධනයක් සහ වෙනස් නොවන ස්ථීර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන පරිසරයක් තුළ ප්‍රාදේශීය ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට මෙරට සිල්ලර ව්‍යාපාරික අංශයට හැකියාව තිබේ.
කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් (CFC) සමාගමට මෙරට විශාලතම පෞද්ගලික සුපිරි වෙළඳ සැල් ජාලය වන “කාර්ගීල්ස් ෆුඩ් සිටි“ අයත් වන අතර ඒවායේ මෙහෙයුම් කටයුතු කරන්නේද මෙම සමාගම විසිනි. කාර්ගීල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළඳ සැල් ජාලයට නිෂ්පාදන සපයන ගොවීන් 10,000 කට වැඩි පිරිසක් සිටින අතර මෙහි සේවය කරන පිරිස 5000 කට අධික වේ.
Video Story