Breaking news -මුදල් ඇමතිවරයා ඇතුළු 06 දෙනෙකුට අධිකරණයෙන් නොතීසි

    March, 12, 2015

    වාහන ආනයනය කිරීමේදී භාවිතා කළ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කරමින් අළුත් වාහන (Brand New) ආනයනය කිරීමේදී අයකරන බදු අනුපාතයන්ම පාවිච්චි කළ වාහන ආනයනය කිරීමේදීත් අය කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙකු අභියාචනාධිකරණට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

    මෙම පැමිණිල්ලට අද විභාගයට ගත් බවත් අභියාචනාධිකරණය විසින් මෙයට අදාළව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, මහා භාණ්ඩාගාර ලේකම්වරයා, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගඋත්තර කරුවන් 06 දෙනෙකුට අද නොතීසි (Notice) නිකුත් කළ බවත් නීතීඥ කේ. දීකිරිවැව මහතා අප සමග පැවසීය.

    නීතීඥ කේ. දීකිරිවැව මහතා සඳහන් කළේ පෙබරවාරි 10 වනදා මෙම නියෝගය කළ මෙම ගැසට් පත්‍රයට කැබිනට් මණ්ඩල අනුමැතිය නොමැති බවත් ප්‍රතිපත්ති තීරණ ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙය අභියෝගයට ලක්කළ බවයි.

    මේ නිසා, මෙම ගැසට් පත්‍රය බල රහිත කරන්නැයි ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

    බැලූ බැල්මට නඩුකරයක් තිබෙන බැවින් වගඋත්තර කරුවන්ට අභියාචනාධිකරණය නොතීසි (Notice) නිකුත් කළ බවත් ඔවුන් ලබන මාර්තු 28 වනදා අධිකරණට උත්තර ලබාදිය යුතු බවත් නීතීඥ කේ. දීකිරිවැව මහතා අප සමග කීය.