March, 17, 2015
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි නැගෙන චෝදනා හමුවේ පරීක්ෂණ අවසන් වනතුරු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සේවයට වාර්තා නොකරන බව අග්‍රාමාත්‍යවරයා කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.
මේ අතර, විපක්ෂය සඳහන් කළේ මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට පත්කළ කමිටුව ස්වාධීන නොවන බවත් මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවයි.
මූල්‍ය පාලනය පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට ඇතැයි දැඩි ලෙස විශ්වාස කරන්නෙකු ලෙස මෙම පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.
මේ අනුව, මේ පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබූ අතර බැඳුම්කර නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට හෙළිදරව් වන්නේ නම් එයට සම්බන්ධ බවට වාර්තා වන කවර මට්ටමක හෝ නිළධාරීන්ට සහ පුද්ගලයින්ට එරෙහිව නීති ප්‍රකාරව දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණු බව අනාවරණය වේ.
කෙසේවෙතත්, මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ.
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි.
(භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html)
මේ අනුව, ගත්විට පසුගියදා මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි.
මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න!
Video Story