චීන සමාගමට වරාය නගර ව්‍යාපෘතියට ආරක්ෂක බැම්මක් තැනීමට ඉඩ ලැබෙයිද ?

    March, 19, 2015

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සිදුකරන චීන සමාගම විසින් ව්‍යාපෘතියේ දැනට කර තිබෙන ඉදිකිරීම් ආරක්ෂා වන පරිදි බාධකයක් ඉදිකිරීම සඳහා අවසර ඉල්ලා ඇතැයි අනාවරණය වේ.

    ප්‍රතිපත්ති සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබෙන්නේ මේ සඳහා අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳව මේ වනවිට සලකා බලමින් සිටින බවයි.

    ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා සිය සමාගමට දිනකට රුපියල් ලක්ෂ 500 කට ආසන්න පාඩුවක් සිදුවෙමින් තිබෙන බවත් දැනට ඉදිකර තිබෙන මීටර් 200 කට වැඩි දිගකින් යුතු දියකඩනය (breakwater) වැඩ නතර කිරීම නිසා විනාශ වී තිබෙන බවත් ව්‍යාපෘති සමාගම වන චයිනා කන්ස්ට්‍රක්ෂන් කමියුනිකේෂන් සමාගම පසුගියදා සඳහන් කළේය.

    සමාගම සඳහන් කර තිබුණේ ව්‍යාපෘතියේ දැනට ගොඩකර තිබෙන කොටස්ද දියවෙමින් ගියත් ඒවා යළි යථා තත්ත්වයට පත්කිරීමට වැඩ අත්හිටුවීම නිසා නොහැකි වී තිබෙන බවයි. මෙම ව්‍යාපෘතිය යළිත් ආරම්භ කරන්නේ නම් මෙම කොටස් නැවත ගොඩකිරීම සඳහා සමාගමට අමතර වියදමක් දැරීමට සිදුවන බව චයිනා කන්ස්ට්‍රක්ෂන් කමියුනිකේෂන් සමාගම පවසා තිබුණි.

    මෙවැනි පාඩු සිදුවෙමින් තිබෙද්දී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සමාගම ලබාගෙන තිබෙන ණය සඳහා පොලිය ගෙවීමට සිදුවී තිබෙන බවද ව්‍යාපෘති සමාගම සඳහන් කළේය.