March, 20, 2015
මෙරට මධ්‍යසාර නිෂ්පාදකයින්ගෙන් මසකට රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබීම හමුවේ තම සමාගම් අප්‍රේල් මාසයේ සිට වසා දැමීමට සිදුවන බව කුඩා පරිමාණයේ මධ්‍යසාර නිෂ්පාදකයින්ගේ සේවක සංගමය සඳහන් කරයි.
ඔවුන් පවසන්නේ මෙරට මධ්‍යසාර වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක විශාල සමාගම් 04 කට මෙම බද්ද ගෙවීමේ ප්‍රශ්නයක් නොමැති වුවත් කුඩා ප්‍රමාණයේ සමාගම් 08 කට මෙම බද්ද ගෙවීමට නොහැකි බවයි.
මේ නිසා, මෙම බද්ද ක්‍රියාත්මක වන ලබන අප්‍රේල් මාසයේ සිට කුඩා පරිමාණයේ නිෂ්පාදනාගාර වසා දැමීමට සිදුවන බවත් මේ නිසා පවුල් 4000 කගේ පමණ ජීවනෝපාය අහිමිවන බවත් ඔවුන් පවසයි.
දේශීය මධ්‍යසාර වෙළඳ පොළින් සියයට 10 ක් පමණ මෙම කුඩා පරිමාණයේ සමාගම් අටට හිමි අතර සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පිරිනැමූ නීත්‍යාණුකූල බලපත්‍රයක් මගින් මෙම සමාගම් ව්‍යාපාරික කටයුතු සිදු කරයි.
මෙරට මධ්‍යසාර වෙළඳ පොළින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් DCSL, IDL, Rockland, Mendis යන විශාල සමාගම් විසින් අත්පත් කරගෙන තිබෙන අතර මේ වනවිටත් මෙම සමාගම් වලින් සමහරක් මාසයකට රුපියල් මිලියන 200 කට වැඩි බදු ප්‍රමාණයක් රජයට ගෙවනු ලබයි.
මේ නිසා, ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පසුගියදා පැවසුවේ මෙම නව බද්ද නිසා කුඩා සමාගම් වැසීයාමේ ඉඩක් තිබුණත් විශාල සමාගම් 04 කට මෙයින් වාසියක් අත්වෙනු ඇති බවයි.
මෙම බද්ද නිසා කුඩා පරිමාණයේ මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වැසී යද්දී එම වෙළඳ පොළ කොටසද විශාල සමාගම් හතරට අත්පත් කරගත හැකිබව ෆිච් රේටින්ග්ස් සඳහන් කර තිබුණි.
Video Story