March, 26, 2015
නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ සුපිරි වාසි බද්ද සහ මන්දිර බද්දට අදාළ ගැසට් නිවේදන සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසාන අදියරේ තිබෙන බවත් හෙට අනිද්දාම මේවා ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් අනාවරණය වේ.
ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත හෙළිවන්නේ සුපිරි වාසි බද්දට අදාළ නීති කෙටුම්පත සහ ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් නමුත් මන්දර බද්දට අදාළ නීති කෙටුම්පත සහ ගැසට් නිවේදනයේ යම් යම් ගැටලු තිබෙන නිසා එහි වැඩකටයුතු තවමත් අවසන් නොමැති බවයි.
නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ.
මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට මෙයින් යෝජනා කර තිබේ.
අප වෙත අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදුවන අතර දුරකතන සමාගම් වලට මෙහිදී දෙපැත්තකින් බදු වැටෙන තත්ත්වයක් ඇතිවී ඇත.
මෙම සමාගම් වලින් ඇතැම් ඒවා පසුගිය කාලයේදී සියයට 28 ක් බදු ගෙවා තිබෙන බවත් සියයට 25 ක් වන මෙම බද්ද එකතු වූ පසුව එය සියයට 53 ක් දක්වා ඉහළ යන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වනබවත් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
අතුරු අයවැය මගින් යෝජනා කළ මන්දිර බද්ද වාරික හතරකින් ගෙවීමට හැකි ලෙස රජය බදු නීතිය වෙනස් කර තිබේ.
නව සංශෝධන වලට අනුව රජය සඳහන් කර තිබෙන්නේ රුපියල් මිලියන 150 කට වැඩි වටිනාකමක් හෝ වර්ග අඩි 10, 000 කට වැඩි 2000 අප්‍රේල් 01 වනදාට පසුව ගොඩනැගූ නිවාස වලින් වාර්ෂිකව රුපියල් මිලියනයක මන්දිර බද්දක් (Mansion Tax) අය කරන බවයි.
මෙම බද්ද තුළින් රුපියල් බිලියනයක ආදායමක් රැස්කර ගැනීමට බලාපොරොත්තුවන බව අතුරු අයවැයේ සඳහන් කර තිබුණි.
Video Story