April, 2, 2015
වත්මන් රජය මාර්ග ඉදිකරන්නේ නැතැයි ඇතැම් පිරිස් චෝදනා කළත් පසුගිය රජය මාර්ග ඉදිකළ ආකාරයෙන් යහපාලන රජයට මාර්ග ඉදිකළ නොහැකි නිසා මාර්ග ඉදිකිරීමේදී වංචා හා දූෂණ සිදුනොවන ආකාරයේ නිසි ක්‍රමවේදයක් සකස් කර මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි.
මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අද කොළඹදී චෝදනා කළේ පසුගිය රජය සමයේදී කිසිදු විනිවිද භාවයකින් සහ තරගකාරී ලංසු කැඳවීමකින් තොරව මාර්ග ඉදිකර තිබෙන බවත් මාර්ග කිලෝ මීටරයක් ගොඩනැගීමට රුපියල් මිලියන 75 ක් පමණ වැයවන අවස්ථා වලදී ඒ සඳහා රුපියල් මිලියන 200 ක් පමණ වැයකර ඇති අවස්ථාද තිබෙන බවයි.
“අපි යන්නෙ පිළිවෙලකට. හොඳ ක්‍රමයක් හදාගෙන අපි යන්න හදන්නෙ. ඒකට චෝදනා කරනවා වැඩ කරන්නෙ නෑ කියල.“
යනුවෙන් අමාත්‍යවරයා කීය.
ඔහු සඳහන් කළේ ඇතැම් මාර්ග කොන්ත්‍රාත් සියයට 55 ක් වැනි වැඩි මිලකට ලබාදී තිබෙන බව අනාවරණය වී තිබෙන බවත් මේවා පිළිබඳව අමාත්‍යංශය විසින් විගණනයක් සිදුකරන බවයි.
පසුගිය රජයේදී වැරදි සිදුකළ නිළධාරීන් ටිකකුත් තම අමාත්‍යංශයේ සිටින බවත් වැඩ කිරීමට සිදුව තිබෙන්නේ මොවුන් සමග බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය රජය සමයේදී දේශීය බැංකු ණය මුදල් මගින් සිදුකළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව නව රජයේ දැඩි අවධානයක් යොමුවී තිබෙන බවත් මේ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පමණක් ලබාගෙන තිබෙන මුදල රුපියල් බිලියන 28 ක් බවත් එම මුදල් මුදාහැර තිබෙන්නේ මාර්ග ගොඩනැගීමටම නොවන බවත් අමාත්‍ය කබීර් හෂීම් පැවසීය.
පසුගිය රජය සමයේදී මෙරට මාර්ග පද්ධතිය දැවැන්ත පරිවර්තනයකට ලක්වූ අතර කටුනායක අධිවේගී මාර්ගය, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය ගොඩනැගීම සිදුවූ අතර බොහෝ මාර්ග කාපට් හා කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණි.
රටක ආර්ථික ප්රගමනයට අත්‍යවශ්‍යම යටිතල පහසුකමක් ලෙස මාර්ග දැක්විය හැකි අතර මාර්ග සංවර්ධනය කිරීම තුළින් ආර්ථික වර්ධනය වේගවත් කළ හැකිය.
Video Story