April, 9, 2015
චීනය සහ ඉන්දියාව ප්රමුඛ ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණත් ලෝක ආර්ථිකයට ඉදිරියටත් නායකත්වය ලබාදෙන්නේ ඇමරිකාව යැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය (AmCham- American Chamber of Commerce in Sri Lanka (AmCham) luncheon) විසින් ඊයේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී පැවැත්වූ “The Prime Minister Speaks“ නැමති රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.
මේ නිසා, වැඩිපුර සෘජු විදේශීය ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයට (AmCham) විශාල කාර්ය භාරයක් කළ හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. ආර්ථික අර්බුදයක් පැවති සමයේදී චීනය ඉතාමත් ශක්තිමත්ව සිටියත් මේ වනවිට චීන ආර්ථිකයේ පහළ යාමක් දකින්නට ඇතැයි වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ආර්ථික ආකෘතීන් දෙස අවධානය යොමුකළ යුතු බවත් ඔවුන්ගේ කෘෂි කාර්මික අංශයෙන් පාඩම් උගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය ජනවාරි මාසයේදී රජය විසින් සුපිරි වාසි බද්ද (Super Gain Tax) හඳුන්වා දුන්නේ එක් වරක් අයකරන බද්දක් ලෙසින් බවත් අඩු ආදායම් ලාභී පවුල් මුහුණ දෙන මූල්‍ය පීඩාව ලිහිල් කිරීමට මෙම අරමුදල් යෙදවීමට අපේක්ෂා කර තිබෙන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.
එසේම, අතුරු අයවැය මගින් හඳුන්වා දුන් මන්දිර බද්ද (Mansion Tax) ලෝකයට අළුත් එකක් නොවන බවත් එය ලන්ඩනයේ ක්‍රියාත්මක වී තිබෙන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ මෙරට අයවැය හිඟය පියවීම සඳහා ගල්ෆ් රටවලට නුපුහුණු ශ්‍රමිකයින් යැවීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවයි.
තම නිෂ්පාදනවල අගය එකතු කරමින් ගෝලීය වෙළඳ පොළවලට වඩාත් තරගකාරී නිෂ්පාදන සිදුකිරීම සඳහා කර්මාන්ත කරුවන්ට සහාය ලබාදීමට වත්මන් රජය සූදානම් බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එසේම, ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීය.
මේ අතර, භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත හැකි ණය සීමාව ඉහළ දැමීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත්වීම පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අර්බුදය තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති විපක්ෂයේ විනා සුළුතර ආණ්ඩුවේ නොවන බවයි.
මේ නිසා, කෙටි කාලීනව විපක්ෂයේ ස්ථාවරත්වයද ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
Video Story