මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    April, 23, 2015

    ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව හේතුවෙන් අනිවාර්ය නිවාඩු ගොස් සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අද දින යළි සේවයට වාර්තා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මේ පිළිබඳව විමසා බැලීමට අප අර්ජුන මහේන්ද්‍රන් මහතාට ඇමතූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ තමා රැස්වීමක සිටින බැවින් අදහස් දැක්විය නොහැකි බවයි.

    මෙම බැඳුම්කර නිකුතුවට මහ බැංකුවේ අධිපතිවරයා සෘජුවම දායකත්වය දක්වා නොමැති බව වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණි.

    කෙසේවෙතත්, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් නීතිඥ ගාමිණී පිටිපන, නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතීඥ චන්දිමාල් මෙන්ඩිස් යන අයගෙන් සැදුම්ලත් ත්‍රි පුද්ගල කමිටුව විසින් සඳහන් කළේය.

    මීට අමතරව, මෙම කමිටුව සඳහන් කළේ පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් කර තිබෙන අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතල අඩුලුහුඬුකම් පවතින බවයි.