සල්මාන් ඛාන් තීන්දුවෙන් කොටස් මිලටත් වදී

    May, 7, 2015

    බීමත්ව රිය පැදවීමෙන් මහමග නිදා සිටි පුද්ගලයෙකු මරාදැමීමේ වරද මත වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට නියමවීමෙන් පසුව ඉන්දීය සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

    සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට 05 කින් පමණ ඊයේ කඩා වැටී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මෙම සමාගමට Being Human ඇඟලුම් නිර්මාණය කිරීමට, අලෙවිකරණයට සහ බෙදාහැරීමට සල්මන් ඛාන් පදනම සමග ව්‍යාපාරික ගිවිසුමක් තිබීමයි.

    මීට අමතරව, Eros International Media නැමති සමාගමේ කොටස් මිල ගණන්ද ඊයේ සියයට 07 කින් පමණ පහත වැටුණු බව සඳහන්ය. මේ සඳහා බලපා තිබෙන්නේ සල්මන් ඛාන්ගේ Bajrangi Bhaijaan සහ Hero නැමති චිත්‍රපට ලොව පුරා බෙදාහැරීමේ අයිතිය මෙම සමාගම සතුවීමයි.