May, 8, 2015
ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) සහයෝගයෙන් පසුගිය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.8 ක්ව පැවති මෙරට විදේශ සංචිතය පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් බිලියන 7.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වේ.
මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ මෙරට විදේශ සංචිතය මාස 4.3 ක ආනයන සිදුකිරීම සඳහා ප්‍රමාණවත් වන බවයි.
ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යනු කුමක්ද ?
Swap යන ඉංග්‍රීසි වචනයේ අරුත අනුව යමින් මෙහිදී, සිදුකරන්නේ ව්‍යවහාර මුදල් වර්ග හුවමාරු කර ගැනීමයි. පසුගියදා ඉන්දියාව විසින් ලංකාවට ඩොලර් මිලියන 400 ක ඩොලර් ලබාදුන් විට ලංකාව විසින් එයට හිලව් වීම සඳහා ඩොලර් මිලියන 400 ක් වටිනා රුපියල් ලබාදුන්නේය.
මෙය ලංකාවේ ඩොලර් සංචිතය කෙටි කාලීනව වර්ධනය කර ගැනීමට ඉන්දියාව විසින් ලබාදුන් සහයෝගයකි. මෙහිදී, ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් භාවිතා කරමින් මෙරට විදේශ සංචිතය වර්ධනය කරගෙන තිබේ.
ඉන්දියාවෙන් ලැබුණු මෙම ඩොලර් ලංකාවට ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය කිරීම ඇතුළු ඩොලර් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා භාවිතා කළ හැකි අතර එය ඉන්දියාව වෙනුවෙන් පමණක් භාවිතා කළ යුතුයැයි සීමාවක් නොමැත.
මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමට (Currency Swap) අදාළ ගිවිසුම අවසන් වනවිට යළිත් ඉන්දියාව විසින් අප ලබාදුන් රුපියල් අපට ලබාදෙන අතර ලංකාව ලබාගත් ඩොලර් නැවතත් ඉන්දියාවට ලබාදිය යුතුය.
මෙසේ මුදල් හුවමාරු වන කාලසීමාව තුළ ඩොලර් වලට අදාළ පොලීය ඩොලර් ලබාගත් රට විසින්ද රුපියල් වලට අදාළ පොලිය රුපියල් ලබාගත් රට විසින්ද අදාළ රටට ගෙවිය යුතුය.
මහ බැංකුව විසින් විදේශ සංචිතය පහත වැටුණු විට දේශීය බැංකු සමගද මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසෙන අවස්ථා තිබේ.
දේශීය බැංකුවක් යම් කිසි අවස්ථාවක ඩොලර් ණයක් ලබාගත් විට මහ බැංකුව එම ඩොලර් වලට හිලව් වීම සඳහා රුපියල් ලබාදී එම ඩොලර් ලබාගෙන විදේශ සංචිතය ශක්තිමත් කිරීමට කටයුතු කරයි.
එම බැංකුවට නැවතත් ණය ගෙවීමට අවශ්‍ය වූ විට එම ඩොලර් නැවතත් මහ බැංකුව විසින් එම බැංකුවට ලබාදී මහ බැංකුව විසින් කලින් ලබාදුන් රුපියල් ඉල්ලා ගනී.
විදේශ සංචිත අඩුවන විට මහ බැංකුව මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසීම සාමාන්‍ය සිරිතයි.
විදේශ සංචිතය වසර තුනකට පසුව අඩුම අගයට වැටීම
2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය.
පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටුණු අතර එයට පෙර අඩුම විදේශ සංචිතය වාර්තා වූයේ 2012 පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 6.7 ක් ලෙසයි.
විදේශ සංචිතයේ අනාගතය
ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ ඉන්දියාව සමග යෝජිත ඩොලර් බිලියන 1.1 ක් වන මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) ඉතිරි කොටස් ක්‍රියාත්මක වනවිට ඉදිරියේදී මෙරට විදේශ සංචිතය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
කෙසේවෙතත්, රජය විසින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය විශාල ලෙස වර්ධනය වීම හමුවේ මෙරට ගෙවුම් ශේෂය (Balance of payments) පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සෘණ තත්ත්වයට වැටී තිබෙන බවද මේ අතර, අනාවරණයවේ.
2014 වසරේ මුල් මාස දෙක තුළ මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 809.9 ක ශේෂයක් තිබුණද 2015 මුල් මාස දෙක තුළදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන 692.1 ක හිඟයකි.
Video Story