May, 12, 2015
ඉන්දියානු ටාටා හවුසිං සමාගම සමග තිබෙන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවත් සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.
මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමටද එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යවරයා කීය.
මීට පෙර, ටාටා හවුසිං සමාගම සඳහන් කර තිබුණේ කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය නැවත ඇගයීමට නව රජය විසින් තීන්දු කර ඇතැයි සඳහන් කරමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මෙවැනි තත්ත්වයන් තුළින් ලංකාව කෙරෙහි ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි.
Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී.
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය.
මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර 08 ක ඉඩම අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද නැගෙනහිරට මැලේ වීදියද දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවත බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත පසුගිය රජය විසින් පවරා ගත්තේය.
ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ.
Video Story