ශ‍්‍රී ලංකාවේ හොඳම සේව්‍ය සන්නාම සම්මාන ද්විත්වයක් කොමර්ෂල් බැංකුවට

    August, 21, 2019

    බැංකුකරණයට අදාළ සන්නාම විශිෂ්ටත්වයසහ හොඳම ආයතනික සමාජ වගකීම් ක‍්‍රමවේදයන්යන සම්මාන හිමිකරගනී

     ලෝක මානව සම්පත් සංවර්ධන (HRD) කොංග‍්‍රසය විසින් මෑතකදී පැවැත්වූ 2019 ශ‍්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘බැංකුකරණයට අදාළ සන්නාම විශිෂ්ටත්වය’ සහ ‘හොඳම ආයතනික සමාජ වගකීම් ක‍්‍රමවේදයන්’ යන සම්මාන ද්විත්වය ජයග‍්‍රහණය කිරීමට සමත්විය.

    මෙම සම්මාන මගින් කොමර්ෂල් බැංකු සන්නාමය ශ‍්‍රී ලංකාව තුළත් ඉන් පිටතත් ලබා ඇති ශක්තිමත් ව්‍යාප්තිය මෙන්ම බැංකුව අඛණ්ඩව සිදුකරන ආයතනික සමාජ වගකීම් වැඩසටහන් වලින් සමාජයට ලබාදී තිබෙන ධනාත්මක දායකත්වය ඇගයීමට ලක්කර තිබේ.

    ශ‍්‍රී ලංකාවේ වඩාත් සක‍්‍රීය සහ දිදුලන සන්නාමයක් වන කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ සිය සන්නාමය ගොඩනැගීමේ කටයුතු ආයතනික සහ සේවා සන්නිවේදනය මෙන්ම බිම් මට්ටමේ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධවීම යන කරුණු එකතු කරමින් ඉතාමත් සමබරතාවයෙන් සිදුකරමින් තිබෙන බවයි. සාම්ප‍්‍රදායික මාධ්‍යයෙන් බැහැරට ගොස් බැංකුව සමාජ සහ ඩිජිටල් මාධ්‍ය සහ ජාතික සහ ප‍්‍රාදේශීය වශයෙන් පවත්වන ගනුදෙනුකරුවන් සමග සම්බන්ධවීමේ වැඩසටහන් සමග සක‍්‍රීයව කටයුතු කරයි. බැංකුව සමග විශාල ශ‍්‍රී ලාංකේය විගමනිකයින් පිරිසක් ගනුදෙනු කරන අතර ඔවුන් සමග විවිධ වැඩසටහන් සහ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරමින් බැංකුව සම්බන්ධ වෙයි.

    බැංකුව වෙත සන්නාම විශිෂ්ටත්වය වෙනුවෙන් වන සම්මානය ලබාදීම සඳහා මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වීමත්, මෙරට ලැයිස්තුගත බැංකු අතරින් වැඩිම ප‍්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන බැංකුව වීමත්, ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වීමත් යන කරුණු හේතුවී තිබේ.

    පිට පිටම වසර නමයක් ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවට එංගලන්තයේ කීර්තිමත් ‘ද බෑන්කර්’ සඟරාව විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍රවී තිබෙන බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට තිබෙන කීර්තියද මෙම ගෞරවණීය ‘සන්නාම විශිෂ්ටත්වය’ යන සම්මානය ලබාදීමට පාදක වී ඇත.

    ඉතාමත් තරඟකාරී මිලකරණය සහ සේවා මාලාව, බංග්ලාදේශයේ, මාලදිවයිනේ, මියන්මාරයේ සහ ඉතාලියේ මෙහෙයුම් කටයුතු සමග ආසියාවේ වැඩිම ව්‍යාප්තියක් සහිත ශ‍්‍රී ලාංකේය බැංකුව සහ අග‍්‍රගන්‍ය සන්නාම සහ මූල්‍ය කාර්ය සාධනය යන කරුණුද මෙම සන්නාම දිනාගැනීමට සඳහා කොමර්ෂල් බැංකුවට ඉවහල්වී තිබේ.

    ‘හොඳම ආයතනික සමාජ වගකීම් ක‍්‍රමවේදයන්’ යන සම්මානය දිනාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් අධ්‍යාපනය, ප‍්‍රජාව, සෞඛ්‍යය, සංස්කෘතිය සහ උරුමය යන ප‍්‍රධාන අංශයන්හි සිදුකර තිබෙන අර්ථාන්විත සහ කාර්යක්ෂම සමාජ වගකීම් වැඩසටහන් හේතුවී ඇත.

    තොරතුරු තාක්ෂණ විද්‍යාගාර ප‍්‍රදානය කිරීම, ස්මාර්ට් ස්කූල් වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම, මැත් ලැබ් වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම, අ.පො.ස. උසස් පෙළ සිසුන් අතර වෘත්තීය පුහුණු වැඩසටහන් ප‍්‍රචාරය කිරීම සඳහා තාක්ෂණික අධ්‍යාපන සහ පුහුණු දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම වැනි ධනාත්මක වෙනසක් සිදුකළ කොමර්ෂල් බැංකුවේ අධ්‍යාපන වැඩසටහන් මෙන්ම රජයේ රෝහල් 65 කට වැඩි ගණනකට බැංකුව විසින් අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර උපකරණ සහ යටිතල පහසුකම් ලබාදීම ඇතුළු වැඩසටහන් මෙම සම්මාන දිනාගැනීම සඳහා බැංකුවට සහයෝගය ලබාදී ඇත.

    ගින්නෝරුව ප‍්‍රදේශයට පිරිසිදු පානීය ජලය ලබාදීම වැනි ප‍්‍රජා වැඩසටහන්, ශ‍්‍රී පාදයට ගමන් කරන පියගැට පෙළ ප‍්‍රතිසංස්කරණය කිරීම වැනි සංස්කෘතික සහ උරුම ආරක්ෂා කිරීමේ වැඩසටහන්, හික්කඩුවේ හානියට පත්ව ඇති කොරල් පර වෙනුවට අළුතින් කොරල් පර සිටුවීම ඇතුළු පාරිසරික වැඩසටහන්, පරිසර හිතකාමී වැඩසටහන් සඳහා ණය ලබාදීම, ඩිජිටල්කරණය මගින් හරිත බැංකුකරණය සඳහා පහසුකම් සැපයීම, බැංකු ශාඛා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් මගින් බලශක්තිය ලබාගන්නා ආකාරයට පරිවර්තනය කිරීම යන කරුණුද මෙම ආයතනික සමාජ වගකීම් සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට ගෙන තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නම වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 846 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2019 වසරේ පළමු අර්ධය තුල ජාත්‍යන්තර සම්මාන 18 ක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

     

    සේයාරූ සටහන - කොමර්ෂල් බැංකුවේ අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අපර්ණා ජාගොඩ මහත්මිය විසින් ශ‍්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුවට හිමිවූ බැංකුකරණයට අදාළ සන්නාම විශිෂ්ටත්වයසම්මානය ලබාගන්නා ආකාරය.