සෙලින්කෝ ලයිෆ් සිය 80 වන පන්ති කාමර ගොඩනැගිල්ල සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයට ප‍්‍රදානය කරයි

    September, 20, 2019

    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2020 වසරේ ඇතුළත් වන දරුවන්ට අළුත් ගොඩනැගිල්ලක් තුළ නව ස්මාර්ට් පන්ති කාමරයක් (smart classroom) සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ඉදිකර ලබාදී තිබේ.

    මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිසුන් 260 දෙනෙකු සහ ගුරුවරුන් 07 දෙනෙකු සිටින සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයට පරිත්‍යාග කළ මෙම ගොඩනැගිල්ල පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර දීමේ වැඩසටහන යටතේ ඉදිකළ 80 වන පන්ති කාමර ගොඩනැගිල්ලයි. මෙහි ප්‍රොජෙක්ටරයක්, පරිගණකයක් සහ ශබ්ද විකාශන පද්ධතියක් ද ස්ථාපිත කර තිබේ.

    මෙම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සහ ප‍්‍රදානය කිරීම සෙලින්කෝ ලයිෆ් සමාගමේ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව විසින් සම්බන්ධීකරණය කරන ලදි. සමාගම විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන 2004 වසරේදී ආරම්භ කර තිබේ. දිවයිනේ බොහෝ ප‍්‍රදේශ නියෝජනය කරන පරිදි පාසැල් යටිතල පහසුකම් සහ අධ්‍යන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා සමාගම විසින් පසුගිය වසර 15 තුළදී මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 50 කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇත.

    අඩු පහසුකම් මධ්‍යයේ වුවද මෙම පාසැල සමස්ත ලංකා ඉංග‍්‍රීසි දින තරඟාවලියේදී ඉතාමත් ඉහළ දස්කම් පෙන්වා තිබෙන අතර පසුගිය වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් 48 දෙනෙකු ගෙන් 21 දෙනෙකුම සමත්වී තිබීම කැපී පෙනේ.

    ‘අපි කටයුතු කරන්නේ ජීවිත රක්ෂණය ජීවිතය පුරාවට සබැඳියාවක් යන අපගේ තේමාව පදනම් කරගෙනයි. මේ නිසා, අප විසින් අපගේ දැනට සිටින රක්ෂණ ඔප්පුහිමියන්ට අමතරව අනාගත පරපුරද ඉලක්ක කරගනිමින් අඛණ්ඩවම අධ්‍යාපනය සහ පාසැල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කරනවා,’ යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘ශ‍්‍රී ලංකාවේ සමහර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ටකරං මඩුවල සහ ගස් යට පන්ති කාමර පවත්වාගෙන යෑම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අපගේ දායකත්වය තුළින් මෙම තත්ත්වය මගහැරීම සඳහා අප විසින් උපරිම උත්සාහ කරනවා.’

    අවශ්‍යතා සහිත පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් සමාගම විසින් වසර 15 කට පෙර ආරම්භ කළ වැඩසටහන තවදුරටත් වේගවත් කරමින් 2018-19 වසරේදී සමාගම විසින් පන්ති කාමර ගොඩනැගිලි 11 ක් ඉදිකර ප‍්‍රදානය කර තිබේ. සමාගම විසින් ඉදිකර තිබෙන මෙම පන්ති කාමර ගොඩනැගිලි පරපුරෙන් පරපුරට දායාද කිරීම සඳහා සමාගම විසින් මෙම සෑම පන්ති කාමර ගොඩනැගිල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර අවසන් වූ වසරේදී සමාගම විසින් ඉදිකළ මේ ආකාරයේ පන්ති කාමර ගොඩනැගිලි 38 ක් නැවත පින්තාරු කිරීමට සහ ප‍්‍රතිසංස්කරණය කිරීමට සමාගම කටයුතු කරන ලදී. මීට අමතරව, මේ ආකාරයෙන් තවත් පන්ති කාමර ගොඩනැගිලි ඉදිරියේදී ඉදිකිරීම සඳහා සමාගම විසින් තවත් පාසැල් ගණනාවක්ම හඳුනාගෙන ඇත.

    2004 වසරේදී ලූණුගම්වෙහෙර, තිස්ස ප‍්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් ඇරඹුණු සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාසැල් යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘතිය තුළින් යාපනය, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මූතූර්, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන, අයිත්‍යෙමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙනියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවැල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව, මතුගම, කිලිනොච්චිය, මන්නාරම, වැල්ලවාය, තලාව, හලාවත, ගලගෙදර, රත්කරව්ව, හැටන්, බදුල්ල, නුවරඑළිය, වැලිමඩ, පුත්තලම සහ පොළොන්නරුව යන ප‍්‍රදේශවල පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර තිබේ.

    සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජ වගකීම අර්ථ දක්වා තිබෙන්නේ ඉහළම ගුණත්වයේ මූල්‍ය ආරක්ෂාවක් හා රැකවරණයක් ලබාදෙන අතරම අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් අර්ථාන්විත සෞඛ්‍ය හා අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් දුර බැහැර ප‍්‍රදේශවල වුවද තිරසාර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැපවීමටයි.

     

    අවශ්‍යතා සහිත පාසැල්වල යටිතල පහසුකම් ගොඩනැගීමට අමතරව, සෙලින්කෝ ලයිෆ් සිය ‘වෛද්‍ය හමුව’ නැමති නොමිලේ වෛද්‍ය කඳවුරු මාලාව මගින් සෑම වසරකම රට පුරා සිටින බොහෝ පිරිසකට සෙත සලසන අතර රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම්ද සපයයි.

     

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත‍්‍රකර තිබේ. එසේම, සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

     

    සේයාරූ සටහන - සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලය සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ප‍්‍රදානය කළ ස්මාර්ට් පන්ති කාමර ගොඩනැගිල්ල