‘SLT Speedup’ පාපැදි සවාරියේ සිව්වැන්නට සියල්ල සූදානම්

    September, 23, 2019

    පළාත් 9 ම හරහා දින 5ක ධාවනයක් සමගින් කාන්තා හා කණිෂ්ඨ ඉසව්වකුත්

     

    මෙරට  පාපැදි ක්‍රීඩාවේ  නව යුගයක් අරඹමින්  SLT විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම  පාපැදි  ඉසව්ව  බවට  පත්වන  ‘SLT  Speedup’ පාපැදි සවාරිය අඛණ්ඩ සිව්වැනි වසරටත්  පැවැත්වීමට සියලූ  කටයුතු  සූදානම්ව  තිබේ.

    මෙරට අන්තර්ජාල ග්‍රාහකයන් වෙනුවෙන් වේගවත්ම සම්බන්ධතාව ලබාදෙමින් මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයේ පෙරගමන්කරු ලෙසින් වැජඹෙන SLT විසින් සිය සුපිරි අධිවේගී අන්තර්ජාල සැපයුම සංඛේතවත් කරමින් මෙම ඉසව්ව  ‘SLT  Speedup’  ලෙසින් නම් කර ඇත.

    මෙහි ප්‍රධාන තරග ඉසව්ව බවට පත්වන අදියර 5කින් යුතුව  සමන්විත පිරිමි පාපැදි සවාරිය පළාත් 9ම ආවරණය වන පරිදි ගමන් මග යෙදී තිබීම කැපී පෙනෙන අතර නුවරඑළිය හරහා මෙවැනි පාපැදි සවාරියක් ගමන් කරනුයේ වසර 20කට පසුව වීමද සුවිශේෂී වේ. මෙරට පාපැදි ක්ෂේත්‍රයට අගනා අවස්ථාවක් හිමිකරදෙමින් වයස අවුරුදු 19න් පහළ තරගාවලියක් ද මෙවර  ‘SLT  Speedup’ සවාරියට ඇතුළත් කර ඇත.

    ජයග්‍රාහකයා සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ඇතුළු දැවැන්ත තෑගි හිමිවන පිරිමි පාපැදි තරගය මෙවර කිලෝමීටර 813ක ගමන් මගක් ඔස්සේ වැටී තිබේ. එ් අනුව කොළඹින් ඇරඹී පානදුර, රත්නපුරය හරහා ඇඹිලිපිටිය දක්වා පළමු අදියරත්, ඇඹිළිපිටියේ සිට වැල්ලවාය හරහා බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියරත්, අනතුරුව නුවරඑළිය, මහනුවර හරහා කුරුණෑගල දක්වා තෙවැනි අදියරත් යෙදී තිබේ. තරගයේ සිව්වැනි අදියර කොටස් දෙකකින් යුක්තව පැවැත්වෙන අතර එහිදී කුරුණෑගල, අනුරාධපුරය සිට වව්නියාව දක්වා එහි පළමු අර්ධයත්, වවුනියාවේ සිට ත‍්‍රීකුණාමලය දක්වා එහි දෙවැනි අර්ධයත් පැවැත්වීමට නියමිත අතර සවාරියේ 5 වැනි අදියර හෙවත් 5 වැනි දිනය ත‍්‍රීකුණාමලයේ සිට දඹුල්ල දක්වා ධාවනය වනු ඇත.

    අදියර දෙකකින් යුක්තව පැවැත්වෙන  ‘SLT  Speedup’ කාන්තා පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට කුරුණෑගල දක්වාද එහි දෙවැනි දිනය හෙවත් දෙවැනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර 161ක සමස්ත දුරකින් යුක්ත වේ.

    හඳුන්වාදෙන  ‘SLT  Speedup’ කණිෂ්ඨ තරගාවලිය, දඹුල්ලෙන් ඇරඹී කැකිරාව හරහා යළි දඹුල්ල දක්වා කිලෝ මීටර 161ක දුරකින් යුක්ත වන අතර මේ සඳහා වයස අවුරුදු 16-19 අතර ක‍්‍රීඩකයන්ට අවස්ථාව හිමිවේ. විවෘත තරගයක් වන එ් සඳහා සහභාගීවන ක‍්‍රීඩකයන් ආරක්ෂක හිස්වැසුම පැළඳ සිටීම අනිවාර්ය බව සංවිධායකයෝ දන්වා සිටිති.

    ‘SLT  Speedup’ සවාරියේ ජය සංඛේත ප‍්‍රදානය, නාවුල නගරයේදී පැවැත්වෙන සංගීත සංදර්ශනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදි තිබේ.