November, 5, 2019
ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් 2019 සූපශාස්ත්‍ර කලා තරඟාවලියේදී (Culinary Art Food Expo 2019) සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රීලංකන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවයන් සහ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමස්ත පදක්කම් 27 ක් දිනා ගත් අතර එයට රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් ඇතුලත් විය. මෙම තරඟාවලිය ඔක්තෝබර් මස 21-23 දිනවල කොළඹ BMICH හී දී පැවැති අතර ඒ සඳහා කලාපය පුරා හෝටල් සියයකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරඟකරුවන් 1,650 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රීලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා සඳහන් කළේ 2019 සූපශාස්ත්‍ර තරඟාවලියේ දී සිය සූපවේදී කණ්ඩායම ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සමස්ත ශ්‍රීලංකන් කේටරින් අංශයම ආඩම්බරයට පත්වන බවයි. “අපගේ කණ්ඩායම දැක්වූ මෙම කුසලතාවන් වලින් පෙන්නුම් කරන්නේ පැය 24 පුරා , දින 365 ම කොළඹට ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විවේකාගාර, ආපනශාලා සහ සංක්‍රමණ හෝටලවල සේවය කරන ශ්‍රී ලංකන් කේටරින් අංශය පවත්වා ගෙන යනු ලබන විශිෂ්ටතා මට්ටමයි. මේ සඳහා සහභාගී වූ අපගේ සියලුම සමාජිකයන්ට නවතම කෑම වට්ටෝරු නිර්මාණය කිරීමට සහ තරඟය සඳහා පුහුණුවීමට ලැබුණේ සති දෙකක පමණ කාලයක්. ” යැයිද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.
ශ්‍රීලංකන් කේටරින් හි (www.srilankancatering.com/) සූපශාස්ත්‍ර කණ්ඩායම සජීවී ඉවුම් පිහුම් හා කේක් සෑදීමේ තරඟ 14 කට සහභාගී වී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට සමත් විය. මීට අමතරව beverage කණ්ඩායම කොක්ටේල්, මොක්ටේල් සහ උණුසුම් හා සිසිල් කෝපි තරඟවලදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගැනීමට සමත් විය.
දකුණු ආසියාවේ විශාලතම වාර්ෂික ආහාර හා ආගන්තුක සත්කාර තරඟවලින් එකක් වන සූපශාස්ත්‍ර කලා තරඟාවලිය සඳහා (www.culinaryart.lk) ආහාර හා පාන නිෂ්පාදන හා සේවාවන්හි සෑම අංශයක්ම ඇතුළත් වන අතර එය ශ්‍රී ලංකාවේ සූපවේදීන්ගේ සංසදය සහ ලෝක සූපවේදීන්ගේ සංගමය , CDC Events සහ Travels විසින් සංවිධානය කරනු ලබයි. මෙවර 19 වන වරටත් පැවති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව පුරා පිහිටි සංචාරක නිකේතන, හෝටල් , අවන්හල්වල සහ මාලදිවයින, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය සහ අබුඩාබි ඇතුළු කලාපයේ බොහෝ රටවල සූපවේදීන් සහභාගී වූ අතර, රටවල් 14 ක ජාත්‍යන්තර සූපශාස්ත්‍ර විනිසුරුවන් 32 දෙනෙකු විසින් තරඟකරුවන් ඇගයීමට ලක් කරන ලදී.
ශ්‍රීලංකන් කේටරින් සමාගම 2019 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 24% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.8 සිට රුපියල් බිලියන 4.7 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ.
ශ්‍රීලංකන් කේටරින් අංශය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ක්‍රියාත්මක වන සියලු ගුවන් සේවා සඳහා 24,000 පමණ ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ශ්‍රීලංකන් කේටරින් සමාගම ආහාර පාන සේවා සපයන ගුවන් සේවා ලෙස ගෝලීය වශයෙන් පිළිගත් එමිරේට්ස් ගුවන් සේවය, කටාර් එයාර්වේස්, මැලේෂියා එයාර්ලයින්ස්, එයාර් චයිනා , කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය (China Eastern Airlines) , China Southern Airlines, කොරියන් එයාර් , Turkish Airlines, KLM Royal Dutch Airlines සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළ හැක. ශ්‍රීලංකන් කේටරින් BIA හි සහ Serenediva Transit හෝටලය සහ MRIA හි අවන්හල් සහ විවේකාගාර මෙන්ම BIA හි විවිධාංගීකරණය වූ සේවා පහසුකම් ලබාදෙයි.
ශ්‍රීලංකන් කේටරින් ගෝලීය වශයෙන් සහතික කිහිපයක්ම ලබාගෙන තිබේ. තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා ISO 22000:2005, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා HACCP-Codex Alimentarius , සහ හොඳම පාරසරික පිළිවෙත් වෙනුවෙන් ISO 14001:2004 ලබාගෙන තිබේ. ඊට අමතරව ශ්‍රීලංකන් කේටරින් අංශය අන්තර්ජාතික සංචාරක ආහාර සැපයුම් සංගමය (ITCA), ජනාධිපති අපනයන සම්මාන සහ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල මගින් පිරිනමනු ලබන සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබේ. එසේම පසුගියදා ශ්‍රීලංකන් කේටරින් සමාගම (SLC) තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ජනාධිපති අපනයන සම්මාන උළෙල 2018/2019 දී (Presidential Export Award ) ශ්‍රී ලංකා අපනයන ආර්ථිකය සඳහා ලබාදෙන අ දායකත්වය වෙනුවෙන් “සැකසූ ආහාර අංශය” අඛණ්ඩව තුන්වන වරටත් හොඳම අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය.