අනාගත දරුපරපුරක අභිලාෂයන් බලගන්වමින් CDB ‘සිසුදිරි’ 12 වන අදියරේදී තවත් ශිෂ්‍යත්ව 100 ක්

    November, 6, 2019

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මූල්‍ය ආයතනය රටේ දරුවන්ගේ අධ්‍යාපන අභිලාෂයන් බලගැන්වීමේ උදාර අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන ‘සිසුදිරි’ ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව 12 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය නොවැම්බර් 04 දින පැවැත්විණි.

    ආර්ථික අපහසුතා ඇතුළු තවත් හේතු නිසා තම අනාගත සිහින සැබෑ කරගැනීමට නොහැකි වී සිටින දරුවන්ට දිරියක් වීම ‘සිසුදිරි’ වැඩසටහනේ ඉලක්කය වේ. එමගින් රටේ අනාගතය භාරගැනීමට සිටින පරපුරට ශක්තිමත් අධ්‍යාපන පසුබිමක පිටිවහල ලබා දෙමින් ඔවුන්ටත් රටටත් වඩාත් යහපත් හෙට දවසක් උදාකර දීමට CDB මූල්‍ය ආයතනය උත්සාහ කරයි.

    2008 වසරේ සිට මේ දක්වා සිසුදිරි වැඩසටහන යටතේ දරු දැරියන් වෙත ශිෂ්‍යත්ව 609 ක් පිරිනමා ඇති අතර එහි මුළු වටිනාකම රු. මිලියන 22.9 කි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් CDB මූල්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා මෙසේ පැවසී ය. ‘‘ශ‍්‍රී ලංකාවට සෞභාග්‍යමත් හා තිරසාර අනාගතයක් උදාවීමට නම් උගත්, ශක්තිමත් අනාගත පරපුරක් එයට නායකත්වය ලබාදිය යුතුයි. එම අරමුණ වෙනුවෙන් රටේ දරු දැරියන්ගේ සිහින සැබෑ කරමින් ඔවුන් උගත් බුද්ධිමත් පුරවැසියන් ලෙස රටට දායාද කිරීමේ මෙහෙවරට CDB මූල්‍ය ආයතනය මෙසේ උරදී සිටිනවා. සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන හරහා, මේ ශිෂ්‍යත්වලාභීන්ට මූල්‍ය ශක්තියක් ලබාදෙමින්, ඔවුන්ට රටේ අනාගත නායකයන් බවට පත්වීමට දොරටු විවර කර දීම අපගේ ඉලක්කයයි. ’’

    අප රටේ ආර්ථික අහසුතා වලින් පෙළෙන පවුල් අතරින් 5 වසර ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ යන කඩඉම් විභාග වලින් විශිෂ්ට ලෙස සමත් වූ දරුදැරියන් 100 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට CDB මූල්‍ය ආයතනය මෙවරත් කටයුතු කරන ලදී. මේ යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ දරුදැරියන්ට, ඔවුන්ගේ ද්විතීයික අධ්‍යාපනය අවසන් වන තුරු, වසර 5 ක කාලයක් දක්වා විහිදී යන පරිදි, රු. 50,000 ක මුදලක් පිරිනැමෙන අතර, සාමාන්‍ය පෙළ සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන තෙක් වසර දෙකක් සඳහා රු. 15,000 බැගින් වාර්ෂිකව හිමි වේ.  ක්‍ෘඊ ‘රන්කැටි’ ගිණුම් හිමි නැති දරුවන්ටද මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබන අතර, සිය ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කරගැනීම සඳහා CDB රන්කැටි ගිණුම් ආරම්භ කිරීමට එම දරුවන් දිරිගන්වයි.

    ශ‍්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සේවා සම්පාදක සමාගම් අතරින් එකක් ලෙස සැලකෙන ක්‍ෘඊ මූල්‍ය ආයතනය දිගින් දිගටම රටේ අනාගත පරපුරේ සිහින සැබෑ කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී. ”අභිලාෂයන් බලගන්වමින්” යන අරමුණු පෙරදැරිව දශකයකට අධික කාලයක සිට එම සමාගම සිය ප‍්‍රමුඛ ප‍්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන පවත්වාගෙන යන අතර ඒ සඳහා මෙම වසරේදී රු. මිලියන 1.2 ක ආයෝජනයක් සිදුකර ඇත.