සෙලින්කෝ ලයිෆ් සිය 81 වන පන්ති කාමර ගොඩනැගිල්ල මතුගම විද්‍යාලයකට ප‍්‍රදානය කරයි

    December, 4, 2019

    සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහනක් යටතේ සිදුකරන නව පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර පාසැල් වෙත ප‍්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මතුගම, මහකළුපහන කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර 2020 පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන් සඳහා මෙම ගොඩනැගිල්ල භාවිතා කරනු ඇත.

    මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ගොඩනගා පරිත්‍යාග කළ 81 වන පන්ති කාමර ගොඩනැගිල්ල මෙයයි. මෙම පාසැලේ පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස. සා.පෙළ. දක්වා ඉගෙන ගන්නා සිසු දරුවන් මුහුණ දෙන පන්ති කාමර ගැටලූව විසඳීමට මෙමගින් සහයෝගය හිමිවේ. සිසුන් 154 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසැල හරිත පරිසරයක පිහිටා තිබෙන අතර පාසැලේ සිසු දරුවන් විසින්ම නඩත්තු කරන ගෙවත්තක්ද මෙම පාසලේ පිහිටා ඇත.

    ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට සහ සෞන්දර්ය සහ බාලදක්ෂ ඇතුළු බාහිර ක‍්‍රියාකාරකම් වලට මෙම පාසැල ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රියත්වයට පත්වී තිබේ.

    සමාගම විසින් 2004 වසරේදී ආරම්භ කළ ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මෙම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකර පරිත්‍යාග කිරීම සෙලින්කෝ ලයිෆ් සමාගමේ මතුගම ශාඛාව මගින් සම්බන්ධීකරණය කළේය. පසුගිය වසර 15 ක කාලය තුළදී සමාගම විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 50 කට ආසන්න ප‍්‍රමාණයක් ආයෝජනය කර තිබේ.

    වසර 15 කට පෙර ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් 2018-19 වසරේදී අවශ්‍යතා සහිත පාසැල් 12 ක් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ගොඩනගා පරිත්‍යාග කරන ලදී. සිසු පරම්පරා ගණනාවකට මෙම ගොඩනැගිලි වලින් ප‍්‍රතිලාභයක් ලබාදීම සඳහා වසර ගණනාවක් පුරා ගොඩනැගූ මෙම පන්ති කාමර ගොඩනැගිලි සමාගම විසින් අඛණ්ඩව නිරීක්ෂණයට ලක් කරයි. ඉදිරියේදී තවත් මෙවැනි පන්ති කාමර ගොඩනැගිලි අවශ්‍යතා සහිත පාසැල්වල ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතරම ඉදිකර තිබූ එවැනි ගොඩනැගිලි 38 ක් නැවතත් පින්තාරු කිරීම ඇතුළු පිළිසකර කිරීමේ කටයුතු සමාගම විසින් 2018 වසරේදී සිදුකළේය.

    2004 වසරේදී ලූණුගම්වෙහෙර, තිස්ස ප‍්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් ඇරඹුණු සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාසැල් යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘතිය තුළින් යාපනය, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මූතූර්, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන, අයිත්‍යෙමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙනියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවැල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව, මතුගම, කිලිනොච්චිය, මන්නාරම, වැල්ලවාය, තලාව, හලාවත, ගලගෙදර, රත්කරව්ව, හැටන්, බදුල්ල, නුවරඑළිය, වැලිමඩ, පුත්තලම සහ පොළොන්නරුව යන ප‍්‍රදේශවල පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර තිබේ.

    සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජ වගකීම අර්ථ දක්වා තිබෙන්නේ ඉහළම ගුණත්වයේ මූල්‍ය ආරක්ෂාවක් හා රැකවරණයක් ලබාදෙන අතරම අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් අර්ථාන්විත සෞඛ්‍ය හා අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් දුර බැහැර ප‍්‍රදේශවල වුවද තිරසාර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැපවීමටයි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් මේ වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.

    සේයාරු සටහන - මතුගම, මහකළුපහන කණිෂ්ඨ විද්‍යාලයට සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රදානය කළ පන්ති කාමර ගොඩනැගිල්ල.