December, 5, 2019
සිය අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ තම වෙබ් අඩවියේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා ඇඟලූම් අලෙවියේ මෙරට ප‍්‍රමුඛතම සමාගමක් වන ෆැෂන් බග් විසින් තම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් ෆැෂන් බග් වෙබ් අඩවියේ ගෙවීමේ ක‍්‍රියාවලිය සඳහා මාස්ටර්කාඞ් ගෙවීම් පිවිසුම් සේවාව (MPGS) මගින් පහසුකම් සලසනු ඇත.
ෆැෂන් බග් වෙත ලබාදෙන සේවාව සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිඞ් කාඞ්පත් අනුමත කිරීම සහ මාස්ටර්කාඞ්, වීසා සහ යුනියන්පේ සන්නාම වලින් යුත් කාඞ්පත් වලින් සිදුකරන ගෙවීම් සැකසීම ඇතුළත් වේ. මෙය ඉතාමත් සුරක්ෂිත ඊ-වාණිජ්‍යය විසඳුමක් බවත් මෙහිදී කාඞ්පතේ තොරතුරු සැකසීම වෙළෙන්දාගේ පාර්ශවයෙන් සිදු නොවී ගෙවීමේ සර්වරය මගින් සිදුකරන බව බැංකුව සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් පිවිසුම් විසඳුම සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප‍්‍රමිති (PCI - DSS) අවශ්‍යතාවයන්ට අනුකූල වන නිසා මිලදීගන්නාගේ කාඞ්පතේ තිබෙන සංවේදී තොරතුරු වෙළෙන්දාගෙන් පද්ධති වලින් ඈත්ව තැබීමට කටයුතු කර තිබේ. මෙමගින් පුළුල් වංචා වැලැක්වීමේ ක‍්‍රියාවලියකට ප‍්‍රවේශය ලබාදී තිබෙන අතර මාස්ටර්කාඞ් ආරක්ෂණ කේත සහ වීසා ත‍්‍රිමාන ආරක්ෂණ සහතිකකරණ විසඳුම් මගින් මේ සඳහා සහයෝගය හිමිවේ. මේ අතර, කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම් සැකසීම සඳහා මෙහිදී සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීය තාක්ෂණය භාවිතා කරනු ලබයි.
කොමර්ෂල් බැංකුව විසින් ෆැෂන් බග් ශාඛාවල පොයින්ට් ඔෆ් සේල් (POS) යන්ත‍්‍ර වලට නීයර් ෆීල්ඞ් කොමියුනිකේෂන් (NFC) තාක්ෂණය ස්ථාපිත කර තිබෙන නිසා එහි සේවකයින්ට තම වීසා හෝ මාස්ටර්කාඞ් සන්නාම වලින් යුත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් ලබා නොදී ‘ටැප් ඇන්ඞ් ගෝ’ ගෙවීම සිදුකිරීමට කාඞ් හිමියන්ට අවස්ථාව ලබාදී තිබේ. මෙම තාක්ෂණය මගින් වෙළඳසැල් වලට ගෙවීම් කිරීමේදී කාඞ්පත් ස්කෑන් කිරීම හෝ ක්ලෝනකරණයෙන් ව්‍යාජ කාඞ්පත් සැකසීම වලක්වා සෑම ගනුදෙනුවකම ආරක්ෂාව වර්ධනය කරයි.
ෆැෂන් බග් 1994 වසරේදී මුලින්ම ආරම්භ කරනු ලැබූවේ ව්‍යාපාරික පාර්ශවකරුවන් හතර දෙනෙකුගේ ඒකාබද්ධතාවයෙන් සේවකයින් 15 දෙනෙකු සම්බන්ධ කරගනිමිනි. අද වනවිට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් අලෙවි සැල් ජාලයක් ලෙස පාරිභෝගික ජනතාවගේ කීර්තිය දිනා තිබෙන ෆැෂන් බග් සතුව දිවයින පුරා ශාඛා 16 ක් තිබෙන අතර ඒවායේ සේවකයින් 900 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරයි. සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලාංකේය සන්නාමයක් වන ෆැෂන් බග් ශ‍්‍රී ලාංකේය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2000 ක් පමණ සවිබල ගන්වා තිබෙන අතර නවතම ඇඟලූම්, ආයිත්තම් සහ ගේ දොර උපකරණ සදා වෙනස් වන නවීන පාරිභෝගිකයා වෙත අලෙවි කරයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට බැංකු ශාඛා 267 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 856 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට බැංකුව සමත්ව තිබෙන අතර මේ වසරේදී මේ දක්වා සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගෙන තිබේ. එසේම, 2019 වසරේදී මෙරට ගෞරවණීයම සමාගම් 10 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා (වමේ සිට දෙවැන්නා) සහ ෆැෂන් බග් ප‍්‍රාදේශීය කළමනාකරු, මොහොමඞ් ෆයිෂාඞ් මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට ෆැෂන් බග් ප‍්‍රධාන විධායක නිළධාරී, අකීල් අහමඞ් සුබියන් මහතා (දකුණේ කෙළවරේම) සහ කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ කණිෂ්ඨ විධායක නිළධාරී, විෂාන් ප‍්‍රනාන්දු මහතා සහභාගී විය.