ඉන්ද්‍රා ෆයිනෑන්ස් අළුත් නමකින් උපදී

    June, 9, 2015

    කොමර්ෂල් බැංකුව විසින් එයට මේ වනවිට පූර්ණ ලෙස අනුබද්ධ ඉන්ද්‍රා ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම අත්පත් කරගෙන මාස 09 කට පසු එහි නම සෙරන්ඩිබ් ෆයිනෑන්ස් ලිමිටඞ් ලෙස වෙනස්කර තිබේ.

    කොමර්ෂල් බැංකුව විසින් 2014 සැප්තැම්බර් 01 වනදා සිට මෙම මූල්‍ය සමාගම අත්පත් කරගත් අතර නම වෙනස් කිරීමෙන් පසුව නව නාමය සහ නව ආයතනික ලාංඡනයක් යටතේ මෙහෙයුම් කටයුතු සිදුකරන බව බැංකුව සඳහන් කර ඇත.

    වාහන ලීසිං වෙළඳ පොළේ මෙන්ම කුලී පිට ගැනුම්, උකස් ණය සහ පාරිභෝගික ණය අංශයේ සමාගම සතු වෙළඳ පොළ කොටස් එලෙසම පවත්වාගෙන යමින් සෙරන්ඩිබ් ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම ශාඛා 11 ක් හරහා මෙරට පාරිභෝගිකයින්ට සිය සේවාවන් ලබාදෙයි. මේ අතර, කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙසින් බැංකුව හා ඒකාබද්ධව මෙම මූල්‍ය සමාගමේ සේවාවන් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවයි.

    මේ පිළිබඳව අදහස් දක්මින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසුවේ ඉන්ද්‍රා ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම අත්පත් කරගෙන එය නව නාමයකින් එළිදැක්වීම මඟින් බැංකුවට ප‍්‍රතිලාභ රැසක් හිමිවනු ඇති බවයි. කොමර්ෂල් බැංකුවේ ලීසිං මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමටත් වාහන සඳහා මූල්‍ය පහසුකම් ලබාගන්නා ගනුදෙනු කරුවන්ට අඩු පොලී අනුපාතයක් යටතේ මූල්‍ය විකල්ප ඉදිරිපත් කරමින් නව ගනුදෙනුකාර කණ්ඩායමක් බැංකුව වෙත කැඳවා ගැනීමටත් මේ නිසා හැකි වනු ඇතැයි දුරෙයිරත්නම් මහතා පැවසීය.

    ‘‘අපගේ උපාය මාර්ගික පුළුල් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස තවමත් ළඟා නොවුණු වෙළඳ පොළවල් සහ ව්‍යාපාර අංශ වෙත ළඟාවීමට කොමර්ෂල් බැංකුව විසින් ලීසිං ක්ෂේත‍්‍රය හඳුනාගෙන තිබෙනවා. මේ අනුව, බලන විට ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීම වාසිදායක වනවා.’’ යනුවෙන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේය. ‘‘මේ නිසා, මෙම මිලදීගැනීම තුළින් නව නාමයක් ලැබූ ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන් මෙන්ම කොටස්කරුවන් ප‍්‍රතිලාභ ලබනවා.’’

    සෙරන්ඩිබ් ෆයිනෑන්ස් නව නාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම සමාගමේ ප‍්‍රධාන කාර්යාලය සහ ශාඛාල නව ලාංඡනය යටතේ සන්නාමකරණය කර තිබේ.