December, 22, 2019
ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයුම්කරු සහ ස්මාර්ට් උපාංග නිපැයුම්කරු වන HUAWEI සමාගම විසින් සිව්වැනි වරටත් දේශීය විශ්ව විද්‍යාල සිසුන් සඳහා චීනයේ ෂෙන්සෙන්හි පිහිටි Huawei මූලස්ථානයේ දී නවතම තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ කර්මාන්ත ප්රවණතා පිළිබඳ දැනුම සහ පුහුණුව ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම මෑතකදී සිදු කෙරෙණි. නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා සති දෙකක කාලයක් පුරාවට 5G තාක්ෂණය , LTE සහ ක්ලවුඩ් පරිගණකකරණය ආදී නවීනත ම තාක්ෂණයන් සහ AI තාක්ෂණය වැනි දෑ පිළිබඳ HUAWEI හි වඩාත්ම දියුණු විද්‍යාගාරවල ගැඹුරින් අධ්‍යනය කිරීමට මෙන්ම, HUAWEI ආයතනික සංස්කෘතිය සහ චීන සංස්කෘතිය පිළිබඳ ඉගෙනීමට මෙන්ම චීන ඓතිහාසික ස්ථාන නැරඹීමට තෝරාගත් සිසුන් දස දෙනෙකුට මෙහිදී අවස්ථාව හිමි විය.
එම පුහුණුව සාර්ථකව අවසන් කර දිවයිනට පැමිණි සිසුන් ඇගයීමට ලක් කරමින් සංවිධානය කරන ලද උපාධි ප්රදානෝත්සවය පසුගියදා Huawei Sri Lanka CSIC හීදී නිමාවට පත් වූයේ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි. මෙවර උපාධි ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ගරු ලේකම් අනුර දිසානායක මැතිතුමන්, Huawei Technologies Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Liang Yi මහතා සහ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ වාණිජ හා ආර්ථික උපදේශක Yang Zuoyuan මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී විය.
මෙහිදී අදහස් දක්වමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ගරු ලේකම් අනුර දිසානායක මැතිතුමන් පවසා සිටියේ මෙම වසරේ Seeds for the Future වැඩසටහන සඳහා තේරී පත් වූ සියලුම සිසුන් එම ලබා දුන් අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ඇති බවයි. මෙම සිසුන් ඇගයීම සඳහා සහභාගී වීමට ලැබීම සතුටට කරුණක් වන අතර දේශීයව තාක්ෂණික දැනුමෙන් පිරිපුන් පිරිසක් බිහි කිරීම උදෙසා HUAWEI විසින් ගන්නා මෙම උත්සාහය අගය කොට සලකනවා යනුවෙනි.
ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ වාණිජ හා ආර්ථික උපදේශක Yang Zuoyuan මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ චීන සංස්කෘතිය දැඩි සේ විශ්වාස කරනුයේ අනාගතය රඳා පවතිනුයේ දක්ෂ හා බුද්ධිමත් තරුණ පරපුර මත යනුවෙනි. HUAWEI විසින් වාර්ෂිකව මෙසේ ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඉලක්ක කරගනිමින් ඔවුන්ව දැනුමෙන් ස්වයං පෝෂිත කිරීම උදෙසා මෙහෙයවන මෙම වැඩසටහන ඔවුන් ඉතා අගය කොට සලකන බවත් මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකා- චීන සම්බන්ධතා තව දුරටත් වර්ධනය වනු ඇති බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම උළෙලේදී අදහස් දක්වමින් Huawei Technologies Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Liang Yi මහතා පවසා සිටියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වලින් පිරිපුන් මානව සම්පත ඩිජිටල් ආර්ථිකයක ප්‍රධානතම අවශ්‍යතාවයක් වනු ඇති බවයි. මෙහිදී තොරතුරු තාක්ෂණය හා බැඳුනු අධ්‍යාපනය සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වන හෙයින් 2016 වර්ෂයේදී Seeds for the Future වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. එසේ ආරම්භ වූ වැඩසටහන වසර හතරක් පුරාවට දේශීය අභ්‍යාසලාභීන් විශාල ප්‍රමාණයක් දැනුමෙන් සන්නද්ධ කර ඇත. මෙම වැඩසටහනට සහභාගී වීම හරහා අනාගත ලොව ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණ දැනුම සහ කුසලතා ලබා ගැනීම උදෙසා තේරී පත් වී එම පුහුණු වැඩසටහන් සාර්ථකව නිමා කල සියලුම සිසු සිසුවියන්ට තමන් සුභ පතන බවත් හෙතෙම කීහ. තවද වසර 20කට අධික කාලයක් පුරාවට පූර්ණ සම්බන්ධිත හා දැනුමෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් උදෙසා සෑම පුද්ගලයෙකුටම, නිවසකටම සහ සංවිධානයකටම ඩිජිටල් විසඳුම් ලබා දීම සඳහා මෙන්ම නවීන තොරතුරු සන්නිවේදන තාක්ෂණයන් ළඟා කරලීම උදෙසා HUAWEI කැපවී සිටි බව හෙතෙම කීහ.
ඕනෑම කර්මාන්තයක වර්ධනය හා සංවර්ධනය උදෙසා කුසලතා කේන්ද්‍රීය වන අතර වේගයෙන් වර්ධනය වන තොරතුරු සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය ව්‍යාපාර ආකෘති සහ පාරිභෝගික අවශ්‍යතා විශාල වශයෙන් වෙනස් කරමින් සිටී. එහිදී අභියෝගයන්ට මුහුණ දිය හැකි තාක්ෂණික කාර්ය මණ්ඩල විශාල සංඛ්‍යාවකගේ අවශ්‍යතාව පැන නගින අතර ඒ සඳහා අවශ්‍ය සම්පත් නිර්මාණය කිරීම තුළින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ වර්ධනය ඉහළ නැංවීම සහ දිගු කාලීනව විරැකියා අනුපාතය අවම කිරීම සඳහා මෙම වැඩසටහන් මහෝපකාරී වේ. තවද මෙම වැඩසටහන හරහා දේශීය විශ්ව විද්‍යාල සිසුන් හට සිය විද්‍යාත්මක පර්යේෂණ හැකියාවන් වර්ධනය කර ගැනීමට මෙන්ම ඕනෑම ව්‍යපාර පරිසරයක සේවය කිරීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව හිමි වනු ඇත.
2016 වසරේදී Seeds for the Future වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දියත් කරන ලදී. මෙතෙක් මෙම වැඩසටහන හරහා 30කට අධික අභ්‍යාසලාභීන් ප්‍රමාණයක් චීනයේ සංචාරය කර ඇත. දිගුකාලීන වශයෙන් මෙම වැඩසටහන ගෝලීයව දියත් කිරීමටත් ඒ හරහා රටවල හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් Huawei සමාගම අපේක්ෂා කරයි. තවද මෙම වැඩසටහන ශ්‍රී ලාංකේය තරුණ පරපුරට තම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම හා කුසලතා වැඩිදියුණු කර ගැනීමට හිමිවන මහඟු අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.



