HNB Finance ජාතික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රිදී සම්මාන ලබයි

    December, 30, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance පසුගියදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශ‍්‍රී ලංකා  ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් වසර පුරා තම ක්ෂේත‍්‍රයන් හි ඉහළම සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ ආයතනයන් ඇගයීමට ලක්කරනු ලබයි.

    ලැබූ සම්මානය පිලිබඳ අදහස් දැක්වූ HNB Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතා,‘‘ අපගේ කැපවීම සහ උත්සාහයන් සඳහා ලැබුණු මෙම පිළිගැනීම පිලිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙනවා.සෑම වසරකම අපගේ අභ්‍යන්තර ක‍්‍රියාදාමයන්, නිෂ්පාදන සහ සේවාවන් වැඩිදියුණු කිරීමේ හා නව්‍යකරණය කිරීමේ ක‍්‍රියාදාමයන් ක‍්‍රියාත්මක කරනු ලබන අතර එය වසර පුරා අපට අඛණ්ඩව බොහෝ සම්මාන ලබා ගැනීමටත් අප නිවැරදි මාවතේ ගමන් කිරීමටත් බලපාන ප‍්‍රධාන හේතුවක් වෙනවා. සැබවින්ම මෙම සම්මානය අපගේ වටිනා පාර්ශවකරුවන්ට සහ අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දෙනවා ”යැයි පැවසීය.

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ සම්මාන සඳහා ඇගයීම් සහ නිර්දේශ කිරීම් පිළිගත් වෘත්තීය විනිශ්චය මණ්ඩලයක් යටතේ සිදු කරනු ලබයි. තරගය සඳහා ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් පළමුව කරුණු හතක නිර්ණායකයකට අනුව විනිශ්චය කරනු ලබයි. ඉන්පසු විශ්ලේෂණ , සම්මුඛ සාකච්ඡා සහ විනිශ්චය මණ්ඩලයේ අවසන් සමාලෝචනය ඇතුළු තවත් අදියරයන් තුනක් ඔස්සේ ඇගයීමට ලක් කිරීමෙන් පසු සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබයි.

    HNB Finance 2019 වසර පුරා ලැබූ සම්මාන රැසට අළුතින්ම එක්වන සම්මානය මෙය වන අතර මෙම වසරේ මීට පෙර international Business Magazine මගින් ලංකාවේ හොඳම ආයතනික සමාජ වගකීම් මූල්‍ය සමාගම ලෙසත්, Asian Leaders Forum and Awards සම්මාන උළෙලේදී රන් සම්මානයෙනුත්, W3 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙනුත්, BestWeb'lk සම්මාන උළෙලේදී  රන් සහ රිදී  සම්මානයන්ගෙනුත් පිදුම් ලැබීමට සමත් විය.

    වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු නිෂ්පාදන යන මූල්‍ය  සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME& ණය ලබා දීම ද සිදුකරනු ලබයි.