කල්පිටිය බීච් රිසෝර්ට් විකල්ප සැලසුම කොටස්කරුවන් ඒකමතිකව අනුමත කරයි

    June, 24, 2015

    කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගම විසින් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන හෝටලයේ පළමු අදියර ලෙස කාමර 60 කින් යුක්ත ආයුර්වේද සහ ස්පා මධ්‍යස්ථානයක් කල්පිටියේ ඉදිකිරීම සඳහා සමාගම විසින් ඉදිරිපත් කළ විකල්ප ක්‍රියා සැලසුම සමාගමේ කොටස්කරුවන් විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
    සමාගමේ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් ජුනි මස 19 වනදා පැවති කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගමේ අතිවිශේෂ මහ සභා රැස්වීමේදී මෙම විකල්ප ක්‍රියා සැලසුමට කොටස්කරුවන්ගේ පූර්ණ අනුමැතිය හිමිවිය.

    මෙම විකල්ප ක්‍රියා සැලසුම පිළිබඳව සමාගම විසින් 2015 ජුනි 01 වනදා කොළඹ කොටස් වෙළඳ පොළ දැනුවත් කර තිබුණි.

    කල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා කෙරුණු මෙම ව්‍යාපෘතිය ප්‍රමාද කරන්නට හේතුවූයේ පැවති රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කළ ඒකාබද්ධ කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක නොවූ නිසා යැයි සමාගම විසින් දිගින් දිගටම අවධාරණය කළේය.

    ජුනි මස 19 වනදා පැවති කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගමේ අති විශේෂ මහ සභා රැස්වීමේදී සමාගමේ කොටස්කරුවන් විසින් සමාගම පිළිබඳව සිය සුභවාදී ආකල්පය ප්‍රකාශකළ අතර මව් සමාගම වන සිට්ට්‍රස් ලෙෂර් පී.එල්.සී. සමාගම විසින් කළමනාකරණය කරන සිට්ට්‍රස් හික්කඩුව සහ සිට්ට්‍රස් වස්කඩුව යන හෝටල් ද්විත්වයේ මෙහෙයුම්වල සාධනීයත්වයද ඇගයීමට ලක් කළේය.

    කල්පිටිය බීච් රිසෝට් යනු සිට්ට්‍රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙන් එකක් වන අතර හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනගා සුඛෝපභෝගී කාමර 200 ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට සමාගම මේ වනවිට එක්කර තිබේ.

    මහජන කොටස් නිකුතුව මගින් ලබාගත් රුපියල් මිලියන 283 ක මුදල මෙන්ම මුල් ආයෝජකයන් යෙදවූ මුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් යෙදවූ මුදල්ද සමාගම වෙනුවෙන් කෙටිකාලීනව හා මධ්‍ය කාලීනව උපායමාර්ගිකව ආයෝජනය කොට තිබෙන බව කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.