ආචාර්ය අබ්දුල් කලාම් අද ශ්‍රී ලංකාවට

    June, 25, 2015

    දැනුම් ආර්ථිකයේ බලශක්ති අභියෝගතා පිළිබද ජාත්‍යන්තර සමුළුව මේ මස 26, 27 යන දින වලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.මෙම සැසියේ ප්‍රධාන දේශකවරයා ලෙස සම්බන්ධවන ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද රාත්‍රී ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිතය.

    සමාරම්භක සැසිය 26 වන සිකුරාදා ප.ව 6.00 සිට ප.ව 8.30 දක්වා පැවැත්වෙන අතර තාක්ෂණ සැසිය 27 වන සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ. තාක්ෂණික සැසියේ ප්‍රධාන දේශනය මෙහෙය වන්නේ මැලේෂියා විශ්ව විද්‍යාලයේ බහුමාධ්‍ය තොරතුරු තාක්ෂණය පිළිබද මහාචාර්ය සරවනන් මුත්තයියා මහතා විසිනි.

    ක්‍රමයෙන් විකාශය වන ආර්ථිකයක, ජාතියක් මුහුණ දෙන්නා වූ අභියෝගයන්ට අදාල අනාගත දැනුම බෙදා ගැනීමටත්, වාද විවාද කිරීමටත්, සාකච්ඡා කිරිමටත්, මෙහිදී දේශීය හා ආරාධිත විදෙස් විශේෂඥයින්ට අවස්ථාව හිමිවේ.

    එහිදී බලශක්ති ප්‍රතිපත්ති හා දැනුම් ආර්ථිකය, බලශක්ති ප්‍රවණතා, බලශක්ති වෙළදපොල, බලශක්ති ඉල්ලුම් කළමනාකරණය, බලශක්තිය හා ප්‍රවාහනය, ප්‍රණර්ජනනීය බලශක්ති පර්යේෂණ හා සංවර්ධනය, බලශක්ති තාක්ෂණයේ නව නිපැයුම්, බලශක්ති ව්‍යාපාරය හා තිරසාරත්වය, බලශක්ති කළමනාකරණය හා ප්‍රජාව, යන මාතෘකා සාක්චඡාවට බදුන් කෙරේ.

    මේ සදහා රාජ්‍ය හා පෞද්ගලික විද්‍යාඥයින්, ශ්‍රාස්තීය උගතුන්, ඉංජිනේරුවන්, වෘත්තිකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී වීමට නියමිතය.