අග නගරයක් ලෙස මොරගහහේන සංවර්ධනය කිරීමට සැලසුමක්

    June, 30, 2015

    හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මොරගහහේන නගරය ශක්තිමත් වාණිජ උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත.

    මේ අනුව, බස් නැවතුම් පොළ, වෙළඳ පොළ, වෙළඳ සංකීර්ණය, සතිපොළ සහ පොදු ක්‍රීඩා පිටිය කඩිනමින් සංවර්ධනය කිරීමට අදහස් කර තිබේ. මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය හෙක්ටයාර 1.354 ක රජයට අයත් ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට සූදානම් වේ.

    මොරගහහේන නගරයේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරකින් පිහිටි මෙම ඉඩමේ මේ වනවිට තිබෙන්නේ රජයේ ගොවිපොළකි.

    ප්‍රදේශවාසීන් පවසන්නේ බොහෝ පිරිසක් දෛනිකව කම්හල්වල සේවය සඳහා මොරගහහේන නගරයට පැමිණෙන බවයි.

    දිවයිනේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ නගර සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.