චීනය යළි අවදිවෙයි. ලංකාවේ රැකියා ලක්ෂයක් තැනූ බව කියයි

    July, 3, 2015

    චීනය විසින් ආධාර ලබාදුන් ව්‍යාපෘතිවල පසුගිය වසර පහක කාලය තුළදී ශ්‍රී ලාංකිකයින් 100,000 ක් පමණ සේවය කළබව ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (China Chamber of Commerce) ප්‍රකාශක Chen Chuan මහතා සඳහන් කර තිබේ.

    උදාහරණයක් ලෙස ඔහු පවසන්නේ උතුරේ A9 මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලාංකිකයින් 4500 ක් පමණ සේවය කළ බවත් එහි චීන ජාතිකයින් සේවය කළේ සියයට 02 ක් පමණක් බවයි.

    ශ්‍රී ලංකාව විසින් පසුගියදා චීන ව්‍යාපෘති නතර කිරීමත් සමග දෙරට අතර අත්සන් කර තිබෙන ද්විපාර්ශවික ගිවිසුම් සහ ව්‍යාපාරික කොන්ත්‍රාත් වලට ගරු කරන්නැයි චීනය මෙරටට අවධාරණය කර තිබුණි.

    ඩොලර් බිලියන 1.4 ක පමණ ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසුව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ලංකාවට දැනුම් දී තිබුණේ සිය ආයෝජකයින්ගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

    පරීක්ෂණ සිදුකරන තෙක් තාවකාලිකව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සිදුකිරීම නතර කිරීමට රජය තීරණය කළ අතර ව්‍යාපෘතිය සිදුකරන China Communications Construction සමාගම සිය ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට එකඟත්වය පළ කළේය.