IIHS, කොවිඩ්-19 ගෝලීය අර්බුදයේදී ප්‍රමුඛත්වය ගත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අගයයි

    April, 23, 2020

    දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමස්ත ලෝකයම එකවර මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් වන කොවිඩ් - 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින ශ්‍රී ලංකිකයන් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලෙහි ප්‍රධාන භූමිකාවක් ඉෂ්ට කරන සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඇගයීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපනික ආයතනයක් වන International Institute of Health Science (IIHS) අවධානය යොමු කර තිබේ.

    ඒ අනුව, මෙම ව්‍යසනයේ අයහපත් බලපෑම නිරීක්ෂණය කරන අතරම කොවිඩ් - 19 වසංගතය සමඟ සටන් කරමින් සමස්ත දිවයිනේම සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් කැප වන සියලුම ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවා නිලධාරින් සහ වෘත්තිකයන් මෙන්ම විදෙස් සෞඛ්‍ය සේවකයන් වෙතද තම ආචාරය පුද කිරීමට IIHS පෙරමුණ ගෙන තිබේ. කොරෝනා වෛරසය ඉහළ බෝවෙන අනුපාතයක් සහිත වෛරසයක්ව තිබියදීත්, පුළුල් පරාසයක සේවාවන් නියෝජනය කරන සෞඛ්‍ය සේවා කණ්ඩායම් පුද්ගලික ආරක්ෂක උපකරණ වල පවතින හිගයද නොතකමින් ජනතාව වෙනුවෙන් කැපවීම නිසැකයෙන්ම ඇගයීමට ලක් කල යුතු කරුණක් බව IIHS හි අදහසයි.

    සියලුම වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන්, භෞත චිකිත්සකයින් සහ අනෙකුත් සියලුම සෞඛ්‍ය සේවකයින් මේ වන විට ආපදාවට එරෙහි සටනේ පෙරමුණගත් වීරයන් වේ. අත්‍යවශ්‍ය අවස්ථාවේ දී රෝගීන්ට අවශ්‍ය සියලු සේවාවන් සහ සත්කාර ලබා දෙමින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් තම ජීවිත පරදුවට තබනවා පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතද අවදානමට ලක් කරයි. එබැවින් ඔවුන් සියලු දෙනා වෙත ස්තුතිය පුද කිරීමට මීට වඩා සුදුසු කාලයක් නොමැත.

    එසේම, වර්තමාන ගෝලීය ආර්ථික බලපෑම මත සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ රැකියාවේ පවතින සුරක්ෂිතතාවය අඩු වෙමින් පවතින මොහොතක වුවත් ඔවුන් සිදු කරන අමිල සේවාව හේතුවෙන් ඔවුනට පවතින ඉල්ලුම නිතැතින් ඉහළ යමින් පවතී.

    IIHS ආයතනයේ නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යයන, ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ (MBBS, MSc, MD (වෛද්‍ය පරිපාලන) මහතා මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ,” මීට වසර 18 කට පෙර IIHS ආරම්භ කරන ලද්දේ හෙදියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ වෘත්තිය දියුණුව තුලින් ලොවට නිපුණ ශ්‍රමය ලබා දීමේ අරමුණින් ය. හෙදියන් ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය, කුසලතා සහ අධ්‍යාපනය නිසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉමහත් ගෞරවයක් ලබා ගනී. මෙම ව්‍යසනයේදී වුවත් ඔවුන් කැපී පෙනෙන සේවයක් ලබා දෙමින් සිටියි. IIHS හි උපාධිධාරී හෙදියන් එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලයෙන් හෝ මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර උපාධියක් ලබා ඇති අතර එය ඔවුන්ගේ සායනික දක්ෂතා සඳහා දායක වේ. ”යනුවෙනි.

    තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය එදිරිසිංහ මහතා ප්‍රකාශ කලේ, “සංවර්ධිත රටවල ලියාපදිංචි හෙදියක් දළ වශයෙන් රුපියල් ලක්ෂ 7 ක් උපයන අතර විදේශ රැකියා අපේක්‍ෂා කරන අපේ ශ්‍රී ලාංකික හෙදියන් බොහෝ දෙනෙක් මෙම ක්‍රියාවලිය තුළින් රටේ විදේශ විනිමය එකතු කරති. අප ආයතනයද ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල උපාධි සම්පූර්ණ කිරීම සඳහා මෙරට හෙද සිසුවියන්ටද මගපාදා දුන් අතර ඔවුන් බහුතරයක් මෙම වසංගතය තුළ පෙරටුගාමී සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස කටයුතු කරන බවට සැකයක් නැත. අධ්‍යාපන ආයතනයක් වශයෙන් මෙම අවශ්‍යතාවයේ දී හොඳ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලොවට බිහිකිරීම ගැන අපි ආඩම්බර වන අතර හෙද සේවයට ඔවුන් දැක්වූ කැපවීම පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙමු, “ යනුවෙනි.