කොමර්ෂල් බැංකුවේ ජංගම මුදල් සේවාව 650කට අධික ස්ථානවල ගනුදෙනු කරුවන්ට සේවා සපයයි

    May, 4, 2020

    කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සිටින කොමර්ෂල් බැංකුවේ ගිනුම්හිමියන්ට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ නිවෙස් අසලටම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක කොමර්ෂල් බැංකුව මේ වනවිට යොදවා තිබේ.

    මෙම ජංගම මුදල් සේවා ඒකක විවිධ මාර්ග 119 ඔස්සේ ගමන් කරමින් සති තුනක් තුළ ස්ථාන 672 ක් ආවරණය කරමින් ඇඳිරි නීතිය නිසා බැංකු කටයුතු සඳහා බැහැරට යාමට නොහැකි ගනුදෙනුකරුවන් වෙනුවෙන් සේවා ලබාදුන් බව බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වාර්තා කරන්නේ මෙම කාල සීමාව තුළදී මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක ගනුදෙනු 6000 කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන බවයි. මේ තුළින් සිය නිවෙස් වලටම වී සිටින ගනුදෙනුකරුවන්ට රජය විසින් නිවේදනය කර තිබෙන ආරක්ෂක ක්‍රියා මාර්ග අනුගමනය කරන අතරම මුදල් ආපසු ගැනීමට සහ මුදල් තැන්පත් කිරීමට මෙන්ම තම ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීමට අවස්ථාව හිමිවුණි.

    මෙම ජංගම ඒකක මගින් ගනුදෙනුකරුවන් රුපියල් මිලියන 100 කට වඩා වැඩි මුදල් ආපසු ලබාගත් බවත් මීට අමතරව ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල එයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ලබාගත් බවයි.

    මේ අනුව, අප්‍රේල් 01 වනදා සිට 20 වනදා දක්වා කාල සීමාව තුළදී ජනතාවගේ බැංකු අවශ්‍යතාවයන් ඉටුකරමින් කොමර්ෂල් බැංකුවේ ජංගම බැංකු ඒකක වලින් රුපියල් මිලියන 103 කට වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුවන් ආපසු ලබාගෙන තිබෙන අතර මෙම කාල සීමාව තුළදී රුපියල් මිලියන 8.9 කට වැඩි තැන්පතු සිදුකර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ zBank-on-WheelsZ ඒකක මගින් ඉතාමත් පහසුවෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඞ්පත් සහ පාස්පොත මගින් මුදල් ආපසු ලබාගත හැකි අතර බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනු ද කළ හැකිවේ. මීට අමතරව, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ලබාදෙන සේවාවන් පමණක් ලබාදෙන ජංගම ඒකක ද කොමර්ෂල් බැංකුව විසින් මේ දිනවල සේවයේ යොදවා ඇත. මෙම ජංගම ඒකක වලට අමතරව, ගනුදෙනුකරුවන්ට සේවා ලබාදීම වෙනුවෙන් පොයින්ට් ඔෆ් සේල් යන්ත්‍ර වලින් සමන්විත වාහනද යොදවා ඇත.

    මෙම ඒකක වලට අමතරව ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙන ප්‍රදේශවල සියලුම කොමර්ෂල් බැංකු ශාඛා අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘත කර තිබෙන අතර ගනුදෙනුකරුවන්ගේ ඉතාමත් හදිසි ගනුදෙනු අවශ්‍යතා සපුරාලීම සඳහා ඇඳිරි නීතිය කාලයේදීද තෝරාගත් ශාඛා ප්‍රමාණයක් විවෘත කර තිබේ.

    බැංකුව විසින් මේ වසරේ මාර් තු මාසයේදී සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතියට ප්‍රවේශවීම පහසුකළ අතර බැංකු ශාඛාවකට නොගොස් ස්වයං ලියාපදිංචිය මගින් ‘ෆ්ලෑෂ් ඩිජිටල්’බැංකු ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලබාදී ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.