කොමර්ෂල් බැංකුව ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුම පහසු ප‍්‍රවේශයන් සහ අනෙකුත් විශේෂාංග සමග වැඩි දියුණු කරයි

    June, 10, 2020

    කොමර්ෂල් බැංකුව ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුමේ පාරිභෝගික සහ වෙළඳ යෙදුම්, නව විශේෂාංග සහ පහසු ප‍්‍රවේශයන් සමගින් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර ඇත.

    ‘ComBank Q+’ කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේ හඳුන්වා දෙන විට එය LANKAQR ප‍්‍රමිතීන් යටතේ සක‍්‍රීය කරන ලද ප‍්‍රථම ක්ෂණික ප‍්‍රතිචාර මත පදනම් වූ අන්තර්ජාල ගෙවීම් යෙදුම විය.

    මෙම නවතම වැඩිදියුණු කිරීමද සමගින් ‘ComBank Q+’ හා සම්බන්ධ වෙළඳ මහතුන්ට තම අන්තර්ජාල ගෙවීම් වඩාත් කාර්යක්ෂමව ප‍්‍රතිග‍්‍රහණය කිරීම සඳහා තම වෙබ් අඩවි හරහා අන්තර්ජාල ක්ෂණික ප‍්‍රතිචාර යෙදුම සමග ඒකීයකරණය වීමේ අවස්ථාව සැලසේ. මීට අමතරව දිවයින පුරා පිහිටි 500කට අධික Q+ ප‍්‍රතිග‍්‍රහණ වෙළඳසැල් ඔස්සේ මෙම තාක්ෂණය පාරිභෝගිකයන්ට වැඩි පහසුවක්ද උදාකර දෙනු ලබන බව බැංකුව සඳහන් කරයි.

    ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුම කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට තම ජංගම දුරකථන ඔස්සේ සිදු කරන මිලදී ගැනීම් වලදී ඉතා සරල එමෙන්ම වඩාත් ආරක්ෂිත ආකාරයෙන් ගනුදෙනු කිරීමේ පහසුව ලබා දෙනු ඇත. ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුම ඔස්සේ ගෙවීම් සිදුකිරීම කාඞ්පත් හිමියන්ට සහ වෙළඳුන්ට ගෙවීම් කිරීම සහ ලැබීම සඳහා කරදර වලින් තොර විකල්පයක් වන අතර එමගින් ඔවුන් ගෙවීම් විකල්පයන්හී ඊලඟ මානය වෙත රැගෙන යනු ඇත.

    මෙම තාක්ෂණය අනුව නිපැයුමක් හෝ සේවාවක් සඳහා ගෙවීමක් කිරීම ඉතා සරල සහ පහසු වන අතර තම ජංගම දුරකථනයෙන් වෙළඳ මහතාගේ QR කේතය ස්කෑන් කොට ඔවුන් වෙත ලියාපදිංචි කොට ඇති කොමර්ෂල් බැංකුවේ කාඞ්පතක් තෝරා එම ගෙවීම ඉතා පහසුවෙන් කළ හැක. බිල්පත්වල අත්සන් කිරීම, ගෙවීම් කිරීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීම ආදී කරදර වලින් තොර මෙම අන්තර්ජාල ගෙවීම් යෙදුම මගින් කාඞ්පත එය හිමිකරු වෙතම රඳවා තබන අතර කාඞ්පත් අස්ථානගතවීම සහ සොරා ගැනීම ආදිය සඳහා ඇති අවස්ථාවන්ද අවම කරයි. මේ මගින් ඩිජිටල් රිසිට් පත් සහ in-App alerts වැනි කඩදාසි වලින් තොර බැංකු විකල්පයන් සඳහා දිරිගැන්වීමද සිදුවේ. එසේම මෙම අන්තර්ජාල ගෙවීම් යෙදුමේදී එය භාවිතා කරන්නා විසින් PIN අංකය යොදා ගෙවීම සඳහා අනුමැතිය ලබන බැවින් සාමාන්‍ය කාඞ්පතකට වඩා මෙය වඩාත් ආරක්ෂාකාරීද වේ.

    පාරිභෝගිකයන්ට තම ComBank වීසා සහ මාස්ටර් කාඞ්පත් ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුම සමග එක් කළ හැකි අතර එමගින් ඔවුන්ට LankaPay, mVisa සහ Mastercard QR ගනුදෙනුවල නිරතවීමේ අවස්ථාවද උදාවේ. මෙම සේවාව සඳහා උපරිම කාඞ්පත් 5ක් ලියාපදිංචි කිරීමේ හැකියාව තිබේ. ComBank Q+ නිකුත් කරන්නෙකු සහ ලබාගන්නකු ලෙස LankaPay, mVisa සහ Mastercard QR සඳහා සහාය දක්වන එකම අන්තර්ජාල ගෙවීම් යෙදුම වේ.

    ComBank Q+ අන්තර්ජාල ගෙවීම් යෙදුම අන්තර් සම්බන්ධිත ප‍්‍රමිතියක් මත සංවර්ධනය කොට ඇති බැවින් විදෙස් සංචාරයන්හීදී ද ඉතා පහසුවෙන් භාවිතා කළ හැක.

    ComBank Q+ වෙළඳ යෙදුම වෙළඳුන්ට මෙන්ම කාඞ්පත් හිමියන්ටද වැඩි පහසුවක් උදා කරයි. මෙම යෙදුම සැලසුම් කොට ඇත්තේ පාරිභෝගිකයා විසින් වෙළෙඳ මහතාගේ අදාළ QR කේතය ස්කෑන් කළ සැනින් ගෙවීම සිදුවන ආකාරයටය.

    පොත් සාප්පු, කෝපි අවන්හල්, බොජුන්හල්, විලාසිතාගාර, ග්‍රොසරි, සුපිරි වෙළඳසැල්, තොරතුරු තාක්ෂණ උපකරණ අලෙවිසැල්, ලොන්ඩි‍්‍ර සේවා, නවාතැන්, ඔසුසැල් සහ රෝහල්, ඡායාරූප ශාලා, රූපලාවන්‍යාගාර ආදිය ComBank Q+ වෙළඳ යෙදුම භාවිතා කරන කාණ්ඩ කීපයකි.

    කොමර්ෂල් බැංකුවේ Q+ විසඳුම විශාල බිල්පත් ගනුදෙනුකරුවන් සඳහා ඉතා කදිම වන අතර සෑම බිල්පතකම බිල්පත නිකුත් කරන්නාගේ තොරතුරු, අදාළ පාරිභෝගික යොමුව සහ බිල්පතේ අගය ආදිය ආවරණය කෙරෙන අද්විතීය ක්ෂණික ප‍්‍රතිචාර කේතය ආදිය මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග සංවර්ධන කට්ටලයක් බැංකුව විසින් සපයනු ලබයි.

    LANKAQR සඳහා සහාය දක්වන  ඕනෑම පාරිභෝගික යෙදුමක් මගින් මෙම ක්ෂණික ප‍්‍රතිචාර කේතය ස්කෑන් කොට ගෙවීම් කළ හැක. එවිට එසැනින්ම බැංකුව විසින් ගෙවීම යාවත්කාලීන කරනු ලබයි.

    වෙළඳුන්ට e ලියකියවිලි භාවිතාකරමින් යෙදුම ඔස්සේ තමන් විසින්ම ලියාපදිංචිවීම සිදු කළ හැක. ඔවුන් කළ යුත්තේ Google Play හෝ App Store වෙතින් ComBank Q+ වෙළඳ යෙදුම බාගත කරගෙන විද්‍යුත් අයදුම් පත සම්පූර්ණ කොට ComBank Q+  හි ලියාපදිංචි වීමයි.

    කොමර්ෂල් බැංකු ක්ෂණික ප‍්‍රතිචාර යෙදුම ක්ෂණික ප‍්‍රතිචාර මෙන්ම කාඞ්පත් ගෙවීම්ද සිදු කළ හැකි ඩිජිටල් POS විසින් පිළිගනු ලබන LANKA QR මත පදනම් වූ ප‍්‍රථම ක්ෂණික ප‍්‍රතිචාර අන්තර්ජාල ගෙවීම් යෙදුමද වේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.