සෙලින්කෝ ලයිෆ් 2020 සඳහා Great Place to Work සහතිකයෙන් පිදුම් ලබයි

    June, 15, 2020

    සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® ඇගයුම විසින් සිදු කරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත.

    ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් Great Place to Work®  සඳහා සහභාගි වූ ප‍්‍රථම අවස්ථාවේදීම සමාගමේ පූර්ණ කාලීන සේවක මණ්ඩලය 100%ක් ආවරණය කෙරෙන Trust Index© සමීක්ෂණය ඇතුලූ මෙම කීර්තිමත් සහතිකකරණය සඳහා නිර්දේශිත අවශ්‍යතා සපුරාලීමට සමත්වීම කැපී පෙණින.

    වසර 2019 දී ඉතා සැලකිය යුතු ලෙස සෙලින්කෝ ලයිෆ්, අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථකත්වයට එළඹෙමින් ‘විශ්වසනීයත්වය’ යන පිරිවිතරය යටතේ ‘ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී කළමණාකාරිත්වය සාමාර්ථයකි.’ සහ ‘සාධාරණත්වය’ යන පිරිවිතරය යටතේ ‘සමාගම උපයන ලාභයෙන් සාධාරණ කොටස් මට ලැබෙන බව මට දැනේ.’ යන ප‍්‍රධාන ප‍්‍රකාශ සඳහා Great Place to Work® විසින් ප‍්‍රකාශිත ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 25 අතරට ඇතුළත් වීමටද සමත් විය.

    ”සමාගමක් පිළිබඳව එහි සේවකයන්ට වඩා දන්නා අන් කවරෙකුවත් නැහැ,” යැයි මෙම විශිෂ්ට සහතිකකරණයෙන් පිදුම් ලැබීම පිලිබඳව තම අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමණාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා පැවසීය. ”මෙම සමීක්ෂණය ඉතා ස්වාධීනව පවත්වන ලද අතර සේවයන්ට ඒ සඳහා නිර්නාමිකව සහභාගිවීමේ අවස්ථාව සලසා දී තිබුණා. මේ අනුව මෙම සමීක්ෂණය ඉහළම විශ්වසනීයත්වයකින් යුතු වුණා.”

    ”සේවකයන්ගේ ප‍්‍රතිචාර සලකා බලමින් සමාගම සහතිකකරණයට ලක්කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අප සෙලින්කෝ ලයිෆ් වෙත අපේ ප‍්‍රශංසාව පුද කර සිටිනවා,” යැයි මේ පිළිබඳව තම අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ Great Place to Work® ප‍්‍රධාන විධායක නිලධාරී ශනේකා රත්නායක මහත්මිය සඳහන් කළාය. ”මෙම ඇගයුම තුළින් සෙලින්කෝ ලයිෆ් පිළිබඳව එහි සේවකයන්ගේ විශ්වාසය දිනාගැනීමේ ධාරිතාව පිළිබඳව හෙළිදරව් වන අතර ඒ තුළින් සමාගමට ඉහළ ප‍්‍රමිතියක් අත්කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. එබඳු සමාගමක සේවයේ නිරත වීමට මෙන්ම එබඳු සමාගමක් සමග ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නටද එවිට බොහෝ දෙනා පෙළඹෙනවා,” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

    Great Place to Work® ඉහළ විශ්වාසය සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයීම සඳහා ගෝලීය වශයෙන් නායකත්වය ලබා සිටී. විශිෂ්ට සේවා ස්ථාන දර්ශක සහ සේවා ස්ථාන සමාලෝචන ඇතුළු හිමිකාර ඇගයුම් මෙවලම්, උපදේශන සේවාවන් සහ සහතිකරණ වැඩසටහන් ඔස්සේ Great Place to Work® විසින් තිරසාර සහ පිළිගැනීමට ලක්වන සේවා ස්ථාන සංස්කෘතීන් පිළිබඳ විශේෂත්වයන්, ආකෘතීන් සහ වෙසෙසියාවන් ආදිය ලබා දේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රකළ අතර 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සමාගම තෝරා ගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.