සාර්ථකත්වයේ රහස පාරිභෝගික සිහින සැබෑ කිරීමයි – ප‍්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණී පෙරේරා

    June, 16, 2020

    විසිපස් වසරක අභිමානවත් ව්‍යාපාර සමූහයක් ලෙස දෙස් විදෙස් කිත් පැසසුමට ලක් වූ ප‍්‍රයිම් සමූහය වර්තමානය වනවිට මෙරට නිවාස සහ දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුළුන අතර මෙම ක්ෂේත‍්‍රය වෙත නව සංකල්පයන් හඳුන්වාදෙමින් මෙරට දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කළ ව්‍යාපාර සමූහයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැක. ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා සහ සම සභාපතිනි සඳමිණී පෙරේරා මහත්මියගේ දූරදර්ශී විචක්ෂණශීලී ව්‍යාපාරික දැක්ම සහ මගපෙන්වීම ප‍්‍රයිම් සමූහයේ ස්ථාවරත්වයේත් වර්ධනයේත් ප‍්‍රබලම සාධකය වූ අතර දැවැන්ත අන්තර්ජාතික නිවාස සහ දේ පොළ සංවර්ධන සන්නාමයන් අතර මෙම ක්ෂේත‍්‍රය තුළින් ජාත්‍යන්තරය ජයගත් ශ‍්‍රී ලාංකීය නිවාස සහ දේපොළ සංවර්ධන සන්නාමය බිහිකිරීමට මෙම ව්‍යවසායකයින් දෙදෙනාට හැකි විය. ජාත්‍යන්තරය දිනූ ‘ප‍්‍රයිම්’ දේශජ සන්නාමයෙහි එක් පුරෝගාමී චරිතයක් වූ ප‍්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණී පෙරේරා මහත්මිය සිය ව්‍යාපර සමූහය සහ පොදුවේ දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රය පිළිබඳ ඇයගේ දැක්ම මෙම පිළිසඳර ඔස්සේ විධාරණය කරයි.

    වසර 25ක් අතීතයට ගොස් ප‍්‍රයිම් සමූහයේ ආරම්භයෙන්ම සාකච්ඡාව අරඹමු 

    දේපළ වෙළෙඳාම් කටයුතු 1995 සිට සුළු වශයෙන් ඇරැුඹුවා. මුලින්ම ඉතා කුඩා ආකාරයට ව්‍යාපෘති දෙකකින් පමණ ආරම්භ කළ අපගේ ව්‍යාපාරය මුලින්ම ව්‍යාප්ත කළේ කොළඔ අවට ප‍්‍රදේශවලටයි. මෙහිදී අපි අනුගමනය කළ ප‍්‍රතිපත්තිය වූයේ විශ්වාසවන්ත සේවයක් ලබාදීමයි. ගෙවන මුදලට  වැඩි වටිනාකමක් එක්කළ හැකි ඉඩම් පිළිබඳයි අපි මුලින්ම සැළකිලිමත් වූයේ ඉඩම් හිමියන්ටද පොරොන්දු වූ පරිදි නියමිත ලෙස මුදල් ගෙවීමත් , අප වෙතින් ඉඩම් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ සේවයක් ලබාදීමට අපි කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. ඔවුන්ට නිරවුල් ඔප්පුවක් ලබාදීම වගේම යටිතල පහසුකම් ලබාදීම වැනි කාරණා අප ප‍්‍රමුඛ කොට සලකනවා.

    මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසාම 2005/ 2006 වන විට  වඩාත් ස්ථාවර ව්‍යාපාරයක් ලෙසට නැඟී සිටීමේ හැකියාව අපට ලැබුණා. 2009 වර්ෂය වනවිට ශ‍්‍රී ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම ආර්ථික අවපාතය හමුවේ වුවත් අපගේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් ඇති නොවුණේ අපි ශක්තිමත් පදනමක පිහිටා සිටීම නිසයි.

    මේ තත්ත්වය අප හා තරගකාරීව කටයුතු කළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය පවා නොදැන සිටි තත්ත්වයක් නමුත් මේ කාලයේ දී තමයි මහ බැංකුව අපගෙන් ඉල්ලීමක් කළේ බිඳවැටෙමින් පැවති ව්‍යාපාරයක් වූ සෙලින්කෝ ග‍්‍රාමීන් ස්ථාවර කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස. මේ අනුව 2011 දී අපි එම කාර්ය භාරගෙන වසර 02ක් තුල එය ලාභදායි ව්‍යාපාරයක් බවට පත්කරනු ලැබුවා. අප බාර ගන්නා විට එම ආයතනය තුළ ගෙවීමට නියමිත බිලියන තුනක පමණ තැන්පතු ප‍්‍රමාණයක් හිඟව පැවතියා. එපමණක් නොවෙයි සේවක පිරිස අවිශ්වාසය හා සැකයෙන් පීඩාවට පත්වී සිටියේ. අපි ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් ස්ථාවරත්වය රැක ගැනීම සඳහා කටයුතු කළා. මෙම ආයතනය වසර දෙකක් ගතවන විට ලාභදායී ස්ථාවර ආයතනයක් බවට පත් කිරීමට හැකි වුණා. ඉන් අනතුරුවයි මහ බැංකුවේ ඉල්ලීම පරිදි එම ආයතනය HNB අයතනය සමඟ ඒකාබද්ධ කළේ. දැනටත් අප සමාගමට එම ආයතනයේ 40%ක කොටස් තිබෙනවා.

    පසුගිය වසර 25 දෙස හැරී බැලීමේදී ප‍්‍රයිම් සමූහය මෙම ක්ෂේත‍්‍රය සඳහා නව සංකල්පයන් බිහිකරමින් ඉඩම් වෙළෙඳාමේ සිට නිවාස ඉදිකිරීමටත් ඉන් අනතුරුව සුඛෝපභෝගී නිවාස සංකීර්ණ දක්වා ව්‍යාපාරය විවිධාංගීකරණය කරනවා. මේ පරිණාමනය ඇති වන්නේ කොහොමද?

    මුලින් ම ඉඩම් විකිනීම සිදු කිරීමෙන් අනතුරු නිවාස ව්‍යාපෘතිත් ඉන් අනතුරුව සුඛෝපභෝගී නිවාස සංකීර්ණයන් දක්වා අපි වර්ධනය වී තිබෙනවා. මේ සඳහා එක් ප‍්‍රධානතම සාධයක් බවට පත් වන්නේ ප‍්‍රයිම් සමූහය තුළ නිරන්තරව පවතින වෙනස් වීමට දක්වන කැමැත්තයි. කාලානූරූපව සිදු වන වෙනස්කම්වලට නවොත්පානදයන් හරහා අපි විසඳුම් ලබා දුන්නා. ‘zaffordable luxury Z " zVerticle living’ සංකල්පයන්හි අත්දැකීම් මුල්වරට මෙරට පාරිභෝගිකයින් වෙත තිලිණ කරන්නට ප‍්‍රයිම් සමූහයට හැකි වූනා. මෙරට ආර්ථිකයේ වර්ධනයත් සමග පාරිභෝගික අවශ්‍යතා වෙනස් වූ අතර මේ වෙනස්වන අවශ්‍යතා සමග අපගේ නිවාස ව්‍යාපෘති හොඳින් සමපාත වීම ප‍්‍රයිම් සන්නාමයේ ස්ථායීතාවයට ප‍්‍රභල දායකත්වයක් දැක්වූවා. විශේෂයෙන්ම මැදි ආදායම් ලබන රැකියාව සඳහා දෛනිකව කොළඹ නගරයට පැමිණෙන්නන් අතර ‘zaffordable luxury ’ සංකල්පය වඩාත් ප‍්‍රචලිත වූ බව කිව යුතුයි.  ආරම්භයේදී කොළඹට නුදුරු ප‍්‍රදේශ කිහිපයක ඇරඹි මෙම නිවාස සංකීර්ණයන් මහල් හයක් හෝ හතක් ලෙස ඉදිකරනු ලැබුවා. එකවර මෙවැනි ව්‍යාපෘති ඇරඹීම මෙන්ම තට්ටු හයක හතක උසට ඉදිකිරීම හේතුවෙන් භූගතව විශාල කුළුනු ඉදිකිරීමට අවශ්‍යතාවක් ඇති නොවීම නිසා වියදම් අවම කරගැනීම අපගේ අභිප‍්‍රාය වුණා. එසේ ඉතිරි වූ මුදලේ වාසිය ලබා දුන්නේ පාරිභෝගිකයාටයි. මේ හේතුව නිසා මහල් නිවාස ක්ෂේත්රරයේ එතෙක් පැවති මිල ගණන්වලට වඩා අඩු මුදලකට පහසුකම් වැඩි නිවාස ලබාදීමට අපට හැකිවුණා.

    මහල් නිවාස ක්ෂේත‍්‍රයේත් පාරිභෝගික අවශ්‍යතාව පරිදි වඩාත් සුඛෝපභෝගී නිවාස මෙන්ම අර්ධ සුඛෝපභෝගී නිවාස ආදී වශයෙන් මහල් නිවාස සංකීර්ණ නගර ආශි‍්‍රතව ඉදිකිරීමට හැකි වුණා. මේ වනවිට දිස්ත‍්‍රික්ක 24 අතරින් දිස්ත‍්‍රික්ක 15ක පමණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා.

    දේපොළ සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රය රටේ ආර්ථිකය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බැවින් මේ සඳහා පවතින රාජ්‍ය අනුග‍්‍රය පිළිබඳව ඔබේ තක්සේරුව කුමක්ද?

    රාජ්‍ය අංශයෙන් මීට වඩා හොඳ සහයෝගයක් ලැබෙනවානම් හොඳයි. ඇතැම් අවස්ථාවලදී විදුලිය ලබාගැනීම සඳහා මුදල් ගෙවා අවුරුදු ගණන් බලා සිටීමට සිදුවෙනවා. බොහෝ ප‍්‍රදේශවල ජලය ලබාදීමේ ගැටලූ පවතිනවා. ඇතැම් ස්ථානවල ජල නළ නොදමා කාපට් පාරවල් සාදා තිබෙනවා. පසුව ජලය ලබාගැනීම සඳහා පාර කැපීම අසීරු වෙනවා. මෙවන් ගැටලූ උද්ගත වෙන්නේ නිසි සැලැස්මක් ක‍්‍රමවේදයක් නොමැතිකම නිසයි. එම තත්ත්වය වෙනස් කළ හැකිනම් මේ ක්ෂේත්රවයේ  සුවිසල් දියුණුවක් ඇති කරගත හැකියි.

    Prime Finance plc ආයතනය ස්ථාපිත කළේ කුමන ව්‍යාපාරික අරමුණකින්ද ?

    සෙලින්කෝ ග‍්‍රාමීන් සමාගමෙහි කටයුතු සමඟ සම්බන්ධවීම නිසා මේ ක්ෂේත‍්‍රය පිළිබඳ පැවති අත්දැකීම් හා අවබෝධය නිසා  එහි ආයෝජනය කළා. මේ වනවිට Prime Finance plc සාර්ථකව තම ව්‍යාපාර කටයුතු සිදු කරනවා.

    වසර 25ක් පුරා ගොඩනැඟුණු මේ දැවැන්ත ව්‍යාපාරයේ සමූහයේ සාර්ථකත්වයේ ව්‍යාපාරික මූලධර්මය කුමක්ද?

    අපිට මුලින් ඉඩම් මිලදී ගැනීම සඳහාවත් මූලික ප‍්‍රාග්ධනයක් තිබුණේ නෑ. අපි ඉතාමත් සියුම් ආකාරයට මේ ක්ෂේත‍්‍රය පිළිබඳව අධ්‍යනය කළා. අපගේ අවබෝධය වුණේ නිවසක් කෙනෙකුගේ ජීවිතයට මොනතරම් වැදගත්ද යන කාරණයයි. එසේම ගැළපෙන ආකාරයේ පහසුකම් සහිත ඉඩමක් ලබාගැනීම කෙතරම් වැදගත්ද යන්නයි. එලෙස ගන්නා දේපළ නීති ප‍්‍රශ්න ඇති නොවන ආකාරයේ නිසි වටිනාකමකින් යුතු ඒවා වීම අනෙක් කාරණයයි. මේ සෑම ආකාරයකින්ම තෘප්තිමත් වුවත් අපගේ ගනුදෙනුකරුවෙක් වසර ගණනාවකට පසු පැමිණ  අප වෙතින් යම් සේවයක් අපේක්ෂා කරයි නම් එය මැනවින් ඉටුකර දීම අපගේ වගකීමක් ලෙසයි සලකන්නේ. අනෙක් කාරණය සේවක තෘප්තියයි. අප ලබා ඇති සම්මාන අතරින් වඩාත් වටිනා සම්මානය වන්නේ GREAT PLACE TO WORK සම්මානය වසර 05ක් පුරා අඛණ්ඩව ලබාගැනීමයි. ශ‍්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසුම ආයතන 25 අතරට පැමිණීම අප ලද ජයග‍්‍රහණයක්. ASIA PROPERTY GURU  වෙතින් ලබාදෙන ලද  විශිෂ්ටතම දේපළ සංවර්ධකයා ^BEST DEVELOPER& සම්මානය 2018 සහ 2019 යන වසර සඳහාත් එමෙන්ම 2019 වසරේදී කොළඹ 7 පිහිටි උසම ගොඩනැගිල්ල වන PIRME GRAND WARD PLACE සඳහා BEST LUXURY CONDO DEVELOPMENT යන සම්මානයන් අප ලද විශේෂ සම්මාන අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගන්නවා. ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අප ලබාදුන් දායකත්වය ඉන් ඇගයෙන බවයි මගේ අදහස. ව්‍යවසායකයකුු ලෙස අපි සතුටු කළ යුතු දෙදෙනකු සිටිනවා. ඒ පාරිභෝගිකයා සහ සේවකයායි. ඒ දෙදෙනා තෘප්තිමත් කළ හැකි නම් ව්‍යාපාරය සාර්ථකයි.

    ඉදිරි ව්‍යවසායක අරමුණු හා අපේක්ෂා මොනවාද?

    තවදුරටත් ශ‍්‍රී ලාංකීය ආර්ථිකයට ශක්තියක් වෙමින් නව රැුකියා අවස්ථා බිහිකරමින් ප‍්‍රයිම් සමූහයේ ව්‍යාපාරික කටයුතු මෙරට තුලත් විදේශයන්ගේත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.

    WOMAN SUPER ACHIEVER OF THE YEAR සම්මානයෙන් පිදුම් ලත් ඔබ මෙරට කාන්තාවන්ට දෙන පණිවිඩය කුමක්ද?

    කාන්තාවක් උපතින්ම හිමිකර ගන්නා දක්ෂතාවන් කිහිපයක් තිබෙනවා. ඒ එකවර කටයුතු කිහිපයක් සාර්ථකව ඉටු කිරීමයි. කාන්තාවක⁣ට හොඳ බිරියක්, මවක්  වෙන අතරේම වුවත් තමන්ගේ දෙයක් වෙනුවෙන් කැපවීමට හැකියාව තිබෙනවා. හැම කාන්තාවකටම තමා වෙනුවෙන් දෙයක් කිරීමට කාලය කළමනාකරණය  කරගත හැකියි. එවිට ඇයගේ වටිනාකම ඔපවත් වෙනවා.

    එසේවීමට නම් පවුලේ සහයෝගයත් වැදගත් නේද?

    පවුල තුළ සහයෝගයෙන් කටයුතු කිරීම පවුලේ දියුණුවට ඉතාමත් වැදගත්. සැමියාගේ මව මට ලබාදුන් දායකත්වය අතිවිශාලයි. ඇය මාව හොඳින් තේරුම් ගෙන මට අවශ්‍ය සෑම මොහොතකම මගේ සමීපයේ සිටීම මට විශාල ශක්තියක්. එමෙන්ම මගේ  සැමියා සහ දරුවන් මේ ගමන එන්නට මට විශාල දිරියක් ලබා දුන්නා.

    ව්‍යවසායක ජීවිතයේ වඩාත් සතුටට පත් අවස්ථාවක් තිබෙනවාද?

    අපේ ව්‍යාපාරය කොහොමත් සෑම වසරකම සාර්ථකව කටයුතු ඉටුකරනවා. ඒ නිසාම හොඳ ලාභයක් ලබනවා. ඒ ලාභය සේවකයන් අතරේත් බෙදෙනවා. එවැනි අවස්ථාවලදී මේ වසරේ විවිධ දේ සඳහා ආයෝජනය කළ බව ඔවුන් ඉතාමත් සතුටින් පවසනවා. මානව සම්පත් කළමනාකරණයේ දී විශ්මිත හාස්කම් කිසිවක් ගැන මම විශ්වාස කරන්නේ නෑ. මා සමඟ සේවය කරන සියල්ලන්ම මම මෙන් ජීවත්වීමට කැමැති අය බව ඇති වැටහීමයි වැදගත්. එසේ අපි ඔවුන් ගැන සැලකිළිමත් වන විට ඔවුන් අපේ ව්‍යාපාරය රැක ගන්නවා. අප ලබා ඇති සාර්ථකත්වයේ රහස එයයි.

    මේ පවතින වාතාවරණය තුළ පාරිභෝගිකයා ආයෝජනය කළ යුත්තේ කෙසේද?

    පාරිභෝගිකයින් මෙම ක්ෂේත‍්‍රයේ ආයෝජනයන් සිදු කරන විට එම ආයෝජනයන් සිදු කරන සමාගමේ ස්වභාවය, එම සමාගමට ඇති වෙළෙඳපොළ පිළිගැනීම සහ ස්ථාවරත්වය, ආයෝජනයෙහි ප‍්‍රතිලාභ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර විචක්ෂණශීලී තීරණයකට එළැඹීම තුලින් වංචාවන්ට නතු නොවී ආයෝජනය කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනව ප‍්‍රයිම් සමූහය ලෙස අපි පාරිභෝගිකයන්ගේ ආයෝජනයෙන් ලැබෙන ප‍්‍රතිලාභය හා සමානව එම ආයෝජනයේ සුරක්ෂිතභාවය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා..

    දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රයිම් සමූහය ^SL& A-^STABLE& ණය ශ්‍රේණිගතකරණය ලබා ගත් බව සතුටින් දැනුම් දෙනවා. මෙය ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ ආයතනයක් ලබා ගත්තේ ප‍්‍රථම වතාවටයි. මෙම ණය ශ්‍රේණිගතකරණය පාරිභෝගික ආයෝජනයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන සහතිකයක්. එමගින් පාරිභෝගිකයාගේ ආයෝජනය සුරක්ෂිත වනවා සේම දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේත් දියුණුවක් ඇති වෙනවා.