මහනුවර ඉදිවන නව යුධ හමුදා රෝහල වෙනුවෙන් සියැට් වෙතින් රුපියල් මිලියන 02 ක පරිත්‍යාගයක්

    July, 6, 2020

    මහනුවර පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ඉදිකරන ඇඳන් 106 කින් සමන්විත නව යුධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පිරිවැය වෙනුවෙන් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා රුපියල් මිලියන 02 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා විසින් මෙම පරිත්‍යාගය කිරීමට අමතරව කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවවට පත් ප‍්‍රජාව සහ සමාගමේ පාර්ශවකරුවන් වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්ද මේ වනවිට දියත් කර තිබේ.

    අලූතින් ඉදිවන මෙම යුධ හමුදා රෝහල සඳහා සියැට් කැළණි සමාගම විසින් සිදුකළ පරිත්‍යාගය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා විසින් යුධ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී මෙන්ම කොවිඞ්-19 වසංගතය වැලැක්වීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කොවිඞ්-19 වසංගතය සමග සටන් කිරීමට ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් පෙරමුණට පැමිණ සිදුකරන අමිල කාර්ය භාරය මෙහිදී ඇගයූ රවී ඩඞ්ලානි මහතා පැවසුවේ මෙවැනි කාර්ය භාරයන් සඳහා සහයෝගය දැක්වීම සමාගමේ වගකීමක් ලෙස සළකන බවයි.

    සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මේ වනවිට අරමුදල් සපයමින් සහ සම්බන්ධීකරණ කටයුතු කරමින් මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලවල සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය රැකගැනීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රවාහන මණ්ඩලය (SLTB) සමග මාස තුනක වැඩසටහනක් සිදුකරමින් සිටී. මීට අමතරව, ප‍්‍රධාන වෙළඳපොළ ස්ථාන හා ආශ‍්‍රිත ලොරි රථ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට පුද්ගලික ආරක්ෂිත සහ පිරිසිදුකාරක කට්ටල ලබාදීමේ වැඩසටහනක් සහ රටපුරා පිහිටි සමාගමේ වෙළඳ නියෝජිතයින්ගේ කාර්ය මණ්ඩලවල පීඩාවට පත්වූ සාමාජිකයින් වෙනුවෙන් වියලි සලාක ලබාදීමේ වැඩසටහනක්ද සමාගම විසින් දියත් කර තිබේ.

    මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා-ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි නිෂ්පාදන මෙහෙයුම මගින් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ නිෂ්පාදනය කරයි. 2018 ජනවාරි මාසයේදී සමාගම විසින් නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිවේදනය කළ රුපියල් බිලියන 03 ක ආයෝජනය සමග මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ මහනුවර ඉදිවන යුධ හමුදා රෝහල වෙනුවෙන් සියැට් කැළණි සමාගම විසින් සිදුකළ පරිත්‍යාගය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා විසින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට භාරදෙන ආකාරයයි.