පාසැල් යන දරුවාගේ ආරක්ෂාව සුරකින ARAKSHA APP සමස්ත ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ මූලිකත්වයෙන් දියත් කෙරේ

    July, 20, 2020

    සිසුන් ප්‍රවාහනය දෙමාපිය-රියැදුරු සම්බන්ධීකරණය තුලින් විධිමත් හා නියාමනය කරනු වස් සමස්ත පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂා යෙදුම (ARAKSHA APP) කළඑලි දැක්වීම එම සංගමයේ හා එම මෘදුකාංගය සංවර්ධනය කළ, සෙන්සස් හබ් සමාගමේ නිලධාරීන්ගේ හා එයට දායකත්වය දැක්වූ සිසුන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (19) දින බණ්ඩාරගම ඉමාක්රෝ සම්භාෂණ මැදුරේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.

    දිවයිනේ පාසැල් දස දහසකට වැඩි ප්‍රමාණයක සිසුන් මිලියන 4.2ක් අධ්‍යාපනය ලබන හා ඉන් වැඩි කොටසක් පාසැල් වෑන් රථවලින් පැමිණෙන පසුබිමක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආදී විවිධ පාර්ශවයන්ගෙන් ආන්දෝලනයට හා විවේචනයට බඳුන් වූ මෙම අවිධිමත් පාසැල් සිසුන් ප්‍රවාහන සේවය නිර්ණායකයන් හා නියාමනයන් සහිතව ක්‍රමවත්ව හැඩ ගැස්වීම කාලීන අවශ්‍යතාවයකි.

    Android හා iOS පද්ධති ඔස්සේ බාගත කළ හැකි මෙම ආරක්ෂා යෙදුම Parents App හා Driver App ලෙස පරිශීලකයන් අනුව දෙයාකාර වේ.

    දරුවාගේ ගමන් මඟ එම මොහොතේදීම සිතියමෙන් පරීක්ෂා කිරීම, වඩාත්ම සුදුසු මාර්ගය/ රියැදුරු මහතා/ වාහනය තෝරා ගැනීම, දරුවා පාසැලට නොපැමිණෙන දින දැන්වීම, දරුවා වාහනයට ගොඩවූ/ බැ ගිය බව එසැනින් දැන්වීම, රියැදුරු නිවසට කිලෝමීට 2 ක් දුරින් පැමිණෙන විට දැන ගැනීම, රියැදුරු දරුවා නග්ගවා ගන්නා ස්ථානයට පැමිණි බව හා/ හෝ දරුවා එනතෙක් මිනිත්තු 5ක් රැඳී සිටි බව දැනගැනීමට ලැබීම, දරුවාගේ පාසැල් ගමන් ඉතිහාසය පරීක්ෂා කර බැලීම, දරුවාගේ හා දෙමාපියන්ගේ විස්තර යථාවත් කිරීම ඇතුළු අංග රැසකින් Parents App එක සමන්විත අතර රියැදුරු මහතුන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන Driver App එක මඟින් ගමන් මාර්ගය ඇතුළු කිරීම, එය වෙනස් කිරීඹ, පටන් ගන්නා/අවසන් කරන වේලාවන් සටහන් කිරීම, සේවා සපයන ප්‍රදේශ/ ළඟාවන පාසැල් සඳහන් කිරීම මෙන්ම වාහනයේ විස්තර හා ආසන ධාරිතාවය වැනි තොරතුරු ද වේ.

    දෙමාපියන්ට මහත් අස්වැසිල්ලක් වන දරුවාගේ සුරක්ෂාව නොමඳව හා නිබඳව සහතික කෙරෙන මෙම ආරක්ෂා යෙදුම රියැදුරු මහත්වරුන්ටද තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් වැඩි සේවා පදාසයකට ඉඩ හසර ලබාදෙනවා මෙන්ම සහනදායී රක්ෂණ ක්‍රම, සිත් ගන්නා සුළු වෙළෙඳ වට්ටම් වැනි විස්තීර්ණ ආවස්ථාවන් ද හිමිකර ගතහැකි බව එම සංගමයේ නිලධාරී මහතෙක් කරුණු පැහැදිලි කළේය.

    මෙම මෘදුකාංගය නිපදවූ සෙන්සස් හබ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත මීඇල්ල මහතාගේ අදහස මෙසේය. “මේ වෑයම අහම්බයක් හෝ හදිසියේ, ලහිලහියේ කළ දෙයක් නොවෙයි. පාසැල් යන දරුවන් සිටින පියෙක් ලෙස මම මුහුණ දුන්නු හා වෙනත් දෙමාපියන්ගේ අත්දැකීම් එක්ක අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ අප කළ මානසික අරගලයේ විසඳුම් තමයි මේ ඇප් එකෙන් පෙන්වන්නේ. මේ සඳහා දක්වන ලද රියැදුරු මහත්වරු ප්‍රමුඛ පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ දායකත්වය සුවිශේෂී එකක්. ළමුන්ට මහ මඟදී වන අගතීන්, අපචාරයන් ගැන ඔවුන් නිවසට එනතෙක්ම නිනව්වක් නැතිව කනස්සල්ලෙන් සිටින දෙමාපියන්ට අපූරු ඉස්පාසුවක් ගෙන දෙන රැකවලෙක් තමයි මේ ආරක්ෂා ඇප් එක. ඒ වගේම රියැදුරු මහත්වරුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වෙන ගමන් ඔවුන්ගේ සේවා තත්ත්වයන් ඉතා උසස් ලෙස පවත්වාගැනීමට හා අළුත් සේවා අවස්ථා ලබා ගැනීමටත් ඔවුන් වෙත නොමිලයේම සපයන මේ ඇප් එකෙන් පුළුවන්.“

    ලොව දියුණු රටවලට මෙවන් ඩිජිටල් මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමේ විශේෂඥයෙනු වන සුරේන් දිසානායක මහතා මෙසේ පැවසීය. “සමස්ත ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ උපදෙස් හා මෙහෙයුම් කටයුතු උපයෝගී කරගෙන දෙමාපියන්ගේ අදහස් උදහස් හා සිතුම් පැතුම් සැලකිල්ලට ගෙන සෙන්සස් හබ් පුද්ගලික සමාගම විසින් මම ඇතුළු දෙස් විදෙස් අත්දැකීම් හා පරිචයක් ඇති පරිගණක ශිල්පීන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් තමයි මෙම ආරක්ෂාව නම් ඩිජිටල් ඇප් එක හරහා ඔබගේ ජංගම දුරකථනයට එන්නේ. කිසිදු සැල සංකාවකින් තොරව දරුවාගේ පාසැල් යාමේ ඒමේ කටයුතු මෙම ඇප් එකෙන් නියාමනය වන නිසා නිවීසැනසිල්ලේ දෙමාපියන්ට තමන්ගේ කටයුතු කරගන්නා ගමන් රියැදුරු මහත්වරුන්ටත් ඔවුනගේ කාර්ය වඩා ප්‍රශස්ථව විනිවිදභාවයකින් තම වෘත්තීය ගෞරවය ආරක්ෂා වන ලෙස කරගන්න මෙයින් හැකියාව ලැබෙනවා. අන්න ඒ නිසයි මේ ඇප් එක ජනගත කිරීම ඓතිහාසික අවස්ථාවක් වන්නේ. ලොව සියළුම බහුවිධ කාර්යයන් ඇප් හරහා සාක්ෂාත් කරගන්නා විට අපගේ වටිනාම සම්පත වන දරු සම්පත ඔවුනගේ වටිනාම ජීවන වටිනාකම් කියාදෙන පාසැලට යැවීම නියාමනය කිරීමට ඇප් එකක් නැතිවීම ලොකු හිඩැසක්. එම හිඩැසයි අපි සියළු දෙනාම එකතු වී පුරවන්නේ. මෙම පොඩි උත්සාහය ඉදිරියේ වන නොයෙක් දියුණු වීම්වලට ලොකු අත්වැලක් සපයාවි.“

    දෙමාපියන් වෙත එසැනින් තම දරුවගේ පාසැල් ගමන හා නැවත පැමිණීම දැනුවත් වන, දරුවාගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වන ආරක්ෂා යෙදුම මෙන්ම (ARAKSHA APP) පාසැල් ළමුන් ප්‍රවාහන රියැදුරන්ගේ වෘත්තීය ගරුත්වය හා වඩා ප්‍රශස්ත සේවා අවස්ථාවන් ලබාදෙන රියැදුරු යෙදුම (DRIVER APP) වැනි යෙදුම් යුග්මයකින් සුසැදි මෙම ඩිජිටල් පෙළහර, නිසි නියාමනයක් නොමැති අවිධිමත් සේවාවක් වඩා දියුණු මට්ටමකට ගෙන ඒමේ ජාතික කටයුත්තකි. කොරෝනා මර්දනය ගැන විශාල උනන්දුයක් පවතින මෙවන් අවස්ථාවක මෙවන් නියාමනයක් සහිත සංවිධිත තත්ත්වයක් මෙම APP හරහා එගන ඒම යුගයේ කාලීව අවශ්‍යතාවයකි.

     

    ඡායාරූපය (වමේ සිට දකුණට)

    දුලාන් ඩයස් (Head of Development/CEO EchonLab), රොෂාන් දිසානායක  (Director Sensus Hub), නිශාන්ත ගජනායක (Director Sensus Hub), ලලිත් ප්‍රනාන්දු (Secretary AISCTA), මල්ශ්‍රී ද සිල්වා (President AISCTA), සමන්ත මීඇල්ල (Sensus Hub Managing Director), තිලක් වනිගසේකර (Sunsus BPO CEO), සරත් වනිගසේකර (Director Sensus Hub)

    Video Story

    Stock Market

    Exchange Rates