සෙලාන් බැංකුවේ 50 වන පූර්ණ ස්වයංක්‍රීය  චෙක් තැන්පතු (CDK) යන්ත්‍රය ජා-ඇල ශාඛා පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ

    July, 23, 2020

    සිය ඩිජිටල් ජාලය තවදුරටත් පුළුල් කරයි

    සෙලාන් බැංකුව දිවයින පුරා ව්‍යාප්ත සිය පූර්ණ ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDK) ජාලය තවදුරටත් පුළුල් කරමින් 50 වන යන්ත්‍රය ජා-ඇල ශාඛා පරිශ්‍රයේදී පසුගියදා ස්ථාපනය කළේය. ඩිජිටල් පරිවර්තනය සහ අසමසම පාරිභෝගික පහසුව සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙමගින් තවදුරටත් පිළිබිඹු වේ. 2017 වසරේදී මෙරට පළමු වරට ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර ජාලයක් ස්ථාපනය කිරීමේ පුරෝගාමියා වූයේ ද සෙලාන් බැංකුවයි. එතැන් සිට මෙරට ජනතාවට ස්වයංක්‍රීය මුල්‍ය සේවා රැසක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව වසර දෙකක කාලයක් තුළ එම ජාලය යන්ත්‍ර 50 ක් දක්වා පුළුල් කිරීමට සමත්ව සිටී.

    පූර්ණ ස්වයංක්‍රීය CDK යන්ත්‍ර ජාලය පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික පාරිභෝගිකයන් හට සෙලාන් බැංකුව හෝ වෙනත් ඕනෑම බැංකුවක් නිකුත් කරන චෙක්පත් තැන්පතු පත්‍රය පිරවීමෙන් තොරව ඕනෑම දිනයක ඕනෑම මොහොතක පහසුවෙන් තැන්පත් කිරීමේ පහසුව උදා කර ඇත. සියලු ම පාරිභෝගිකයන් හට පහසුවෙන් පරිහරණය කළ හැකි ලෙස මෙම යන්ත්‍රවල උපදෙස් භාෂා ත්‍රිත්වයනේම දර්ශනය කෙරේ. තැන්පතුවල උපරිම ආරක්ෂාව සහ වලංගුතාව තහවුරු කර ගැනීම සඳහා චෙක්පත් තැන්පත් කළ වහාම පාරිභෝගිකයාට මුද්‍රිත රිසිට්පතක් ද යන්ත්‍රය හරහා ලබාගත හැකිය.

    සෙලාන් බැංකුවේ CDK යන්ත්‍ර ජාලය පුළුල් කිරීම පිළිබඳ එම බැංකුවේ මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී මලික් වික්‍රමනායක මහතා මෙලෙස අදහස් පළ කළේය. "සමස්ත ලෝකයම ආපදා තත්ත්වයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක, ජනතාව එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමේදී ඒවා කෙතරම් පහසුවෙන් ලබාගත හැකිද යන්න පිළිබඳව සැලකිල්ලක් දක්වනවා. එම අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් සෙලාන් බැංකුව දිවයින පුරා පාරිභෝගිකයන්ගේ මුල්‍ය ගනුදෙනු පහසුව සහ ඒවායේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සියලු ම ඩිජිටල් බැංකුකරණ සේවා පුළුල් කිරීමට කැපවී සිටිනවා. සෙලාන් බැංකුව යනු සැමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරන බැංකුවක් මෙන්ම සියලු ම පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික පාරිභෝගිකයන්ගේ මුල්‍ය අවශ්‍යතා තහවුරු කිරීම සඳහා විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි විශ්වාසය තබන බැංකුවක් ද වනවා. සිය බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සියලු පහසුකම්වලින් සමන්විත අපගේ ඩිජිටල් සේවා භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරිමත් කරන අතරම, මේවන විට අපගේ ශාඛා 172 ම ක්‍රියාත්මක කර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ඔබින මුල්‍ය විසඳුම් ලබා දීමට කැපවී සිටින බව ද සඳහන් කිරීමට කැමතියි"

    වඩාත් පුළුල් පාරිභෝගික පිරිසකට බාධාවකින් තොරව මුල්‍ය සේවා ලබා ගැනීමේ පහසුව උදා කිරීම සඳහා සෙලාන් බැංකුව ඉදිරියේදී මෙම පූර්ණ ස්වයංක්‍රීය CDK යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

    සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව අගය එකතු කරන ලද සේවා රැසක් සමඟින් අසමසම පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. සෙලාන් බැංකුවේ සේවා පිළිබඳ වැඩිදුර විස්තර සඳහා කරුණාකර www.seylan.lk වෙත පිවිසෙන්න.

    ඡායාරූපය - සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී - මෙහෙයුම්, මලික් වික්‍රමනායක මහතා