July, 29, 2015
මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදෙන කළාපයේ පළමු රට බවට පත්වීමේ අපේක්ෂාවෙන් රජය සුප්‍රකට ගූගල් සමාගම සමග ගිවිසුමකට එළඹ තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ හිලියම් වායුව පිරවූ අධි තාක්ෂණික බැලූන ශ්‍රී ලංකාවේ ගුවනට යොමුකරමින් ඒ ඔස්සේ අන්තර් ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බවත් මෙම බැලූන තවත් නොබෝ දිනකින් මෙරට ගුවනට යොමුකරනු ඇති බවයි.
අන්තර් ජාල පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ වෙත අන්තර් ජාල පහසුකම් ලබාදීමේ අරමුණෙන් ගූගල් විසින් 2013 වසරේදී ලූන් ව්‍යාපෘතිය දියත් කර තිබෙන අතර මේ වෙනුවෙන් බැලූන දහස් ගණනක් ගුවනට මුදාහැර ඇත.
මංගල සමරවීර අමාත්‍යවරයා පවසන්නේ ගූගල් ලූන් (Google Loon) ව්‍යාපෘතිය යටතේ සමස්ත රටටම දැරිය හැකි මිලකට අධිවේගී අන්තර් ජාල පහසුකම් ලබාදීමට හැකිවනු ඇති බවයි.
මේ වනවිට, මෙරට ක්‍රියාත්මක වෙමින් අන්තර් ජාල සම්බන්ධතා ලබාදෙන සමාගම් වලටත් මෙම බැලූන වෙත ප්‍රවේශ පහසුකම් ලබාගනිමින් සිය මෙහෙයුම් පිරිවැය අඩුකරගත හැකිබව රජය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ ප්‍රධානී, මුහුන්දන් කනගේ මහතා සඳහන් කරන්නේ ගූගල් ලූන් ව්‍යාපෘතිය යටතේ බැලූන ලබන මාර්තු මාසය පමණ විට මෙරට ගුවනට නිකුත් කරනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය නිසා ඉදිරියේදී මෙරට අන්තර්ජාල පහසුකම්වල මිල අඩුවන බව ගූගල් සමාගමේ උප සභාපති, මයිකල් කැසිඩි මහතා සඳහන් කරයි.
ගූගල් පවසන්නේ මෙම බැලූන උඩ යැවූ පසු පියවි ඇසට දැකගත හැකි බවත් වාණිජ ගුවන් යානයක් යන උඩට වඩා දෙගුණයක් පමණ උඩකින් මේවා ස්ථානගත කරන බවයි.
දත්ත අනාවරණය කරන්නේ මිලියන 20 කට වැඩි ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ මේ වනවිට මිලියන 2.8 ක් පමණ ජංගම දුරකතන අන්තර් ජාල පහසුකම් තිබෙන බවත් තිබෙන ස්ථාවර අන්තර් ජාල පහසුකම් ප්‍රමාණය 606, 000 ක් බවයි.
Video Story