මෙරට පළමු වරට ‘ෆ්ලෑෂ්’ ඇප් සේවාවෙන් පාරිසරික වැටහීම සඳහා අංගයක් හඳුන්වා දෙයි

    July, 28, 2020

    කොමර්ෂල් බැංකුවේ ෆ්ලෑෂ්ඇප් සේවාව මගින් ගනුදෙනුකරුවන්ගේ පාරිසරික පිරිවැය ගණනය කරන අතරම වියදම් කළමනාකරණය සඳහා මග පෙන්වයි

    කොමර්ෂල් බැංකුවේ නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාව වන ‘ෆ්ලෑෂ්’ මීට පෙර වෙළඳපොළේ නොතිබූ අති නවීන පහසුකම් සහිතව වැඩිදියුණු කර තිබෙන අතර මෙමගින් ගනුදෙනුකරුවන්ට තමන් සිදුකරන වියදම් වලට අනුව පරිසරයට සිදුවන බලපෑම ගණනය කරගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මේ සඳහා මෙම ඇප් සේවාව ‘Save the Environment’ නමින් පහසුකමක් නිර්මාණය කර තිබෙන අතර මෙහි තිබෙන වැඩිදියුණු කළ අයවැයකරණ පහසුකම් මගින් ගනුදෙනුකරුවන්ගේ වියදම් හොඳින් කළමනාකරණය කර ගැනීමට අවස්ථාව ද ලබාදී තිබේ.

    ‘Save the Environment’ නවාංගය මගින් සිදුකරන සෑම ගනුදෙනුවකදීම පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කරන නිසා ගනුදෙනුකරුවන්ට තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගත හැකිය. වැඩිදියුණු කළ අයවැයකරණ පහසුකම මගින් ගනුදෙනුව සිදුකරන මොහොතේම එම වියදම් එක් එක් අංශයන් යටතේ ගොනු කරන නිසා මේ තුළින් තමන්ගේ පුද්ගලික වියදම් කිරීම් මනාව කළමනාකරණය කර ගැනීමට අවස්ථාව මෙම ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන්ට හිමිවේ.

    මෙම ඇප් සේවාවට පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කිරීමේ පහසුකම හඳුන්වා දී තිබෙන්නේ මූල්‍ය ගනුදෙනු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කර තිබෙන පරිසර බලපෑම් දර්ශකය ඒකාබද්ධ කරමිනි. මේ තුළින් ඇප් සේවාව මගින් හෝ වෙනත්  ඕනෑම ආකාරයකින් කාඞ්පත් ගෙවීම් සහ QR කේතය ස්කෑන් කිරීම මගින් සිදුකරන සෑම ගනුදෙනුවකදීම දත්ත විශ්ලේෂණය කරමින් පරිසරයට සිදුකරන බලපෑම ඇස්තමේන්තු කිරීමට ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු සේවාවට හැකියාව ලැබී තිබේ.

    මෙම නවාංග පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පරිසර සංරක්ෂණයට සැබෑ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නම් ඒ පිළිබද සැලකිල්ල ජනතාව අතර ප‍්‍රචලිත කිරීම අත්‍යවශයයි. තිරසාරත්වය පිළිබඳව කොමර්ෂල් බැංකුව දැඩි සැලකිල්ලක් දක්වන අතර සෑමවිටම බැංකුවේ සේවා මගින් පරිසරයට ප‍්‍රතිලාභයක් අත්කර දීමට කැප වෙනවා. අපි විශ්වාස කරන්නේ මෙම Save the Environment නවාංගය මගින් ප‍්‍රධාන වශයෙන්ම තරුණ ගනුදෙනුකරුවන්ට ඔවුන් සිදුකරන ගනුදෙනු වලදී පරිසරයට සිදුවන බලපෑම අවබෝධකර ගත හැකි වන බවයි. මේ නිසා, තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීමට ඔවුන්ට යම් අදහසක් ලබාගත හැකියි.’

    බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘ෆ්ලෑෂ්’ ඇප් අයවැයකරණ නවාංගය මගින් ගනුදෙනුකරුවන්ට තමන්ගේ වියදම් කළමනාකරණය කරගැනීම මගින් මූල්‍ය විනයක් පවත්වාගැනීමට හැකියාව ලැබෙන බවයි. මෙහිදී, වියදම් ‘ආහාර සහ පාන’, ‘සෞඛ්‍ය’, ‘ප‍්‍රවාහන’, ‘විනෝදාස්වාද’, ‘ඉතිරිකිරීම’ සහ ‘අනිකුත්’ යටතේ වර්ගකළ හැකි අතර යම් කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සිදුකළ එක් එක් ගනුදෙනු සවිස්තරාත්මකව ලබාගැනීමේ හැකියාව මේ තුළින් ලැබේ. ගනුදෙනුකරුවා මෙම එක් එක් අංශ යටතේ සිදුකළ වියදම ප‍්‍රතිශතයක් ලෙස ලබාගත හැකි නිසා අවශ්‍ය නම් ඉදිරියේදී අඩුවෙන් මුදල් වියදම් කළ යුතු මොනවාටද? වැඩියෙන් මුදල් වියදම් කළ යුතු මොනවාටද? යන්න තීරණය කිරීමට මෙමගින් ගනුදෙනුකරුවාට හැකිය.

    තම පුද්ගලික වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට පහසු තනි ඩෑෂ්බෝර්ඞ් එකක් ලබාදීමට අමතරව මෙම ඇප් පහසුකම තුළින් ඊ-ප‍්‍රකාශන ලෙස පසුගිය මාසවල මූල්‍ය ඉතිහාසය ඩවුන්ලෝඞ් කරගැනීමේ අවස්ථාවද ලබාදී තිබේ.

    කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඇප් පහසුකම භාෂා ත‍්‍රිත්වයෙන්ම ගොඩනැගූ මෙරට පළමු ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාව වන අතර සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවන් මගින් උපදෙස් ලබාගනිමින් මෙමගින් ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කිරීමේ අවස්ථාව ලබාදී ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.