රවී 2016 අයවැය සැලසුම් කරලාලු. මෙතැන් සිට ශූන්‍ය පාදක ක්‍රමවේදය සහිත අයවැයක් එනහැඩ

    July, 30, 2015

    අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.5 කට අඩුකර ගැනීම, රාජ්‍ය ආයෝජන අඩුම ගණනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6-8 අතර පවත්වා ගෙන යෑම, පුද්ගලික අංශයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 22-24 මට්ටමකට ගෙන ඒම දිරිමත් කිරීම, සමස්ත ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට නැංවීම, 2016-2018 මධ්‍ය කාලීන රාමුව තුළ සියයට 08 කට වැඩි ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම යන අරමුණු ඉටුකර ගැනීම සඳහා 2016 අයවැය පිළියෙල කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සැලසුම් කර ඇතැයි රජය කියයි.

    මේ අතර, රජය සඳහන් කර තිබෙන්නේ හිතකර භාණ්ඩාගාර කළමනාකරණයක් ඇතිකර ගැනීම සඳහා අයවැය සැකසීමේ සහ ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් ලෙස 2016 වසරේ සිට ශූන්‍ය පාදක අයවැය කරණ ක්‍රමවේදය (Zero based budgeting) හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන බවයි.

    මේ මගින් රාජ්‍ය වියදම් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අපේක්ෂා කර ඇතැයි සඳහන්ය.

    2016 අයවැය සකස් කිරීම පිළිබඳ අමාත්‍යංශ සමග පැවැත්වෙන මූලික සාකච්ඡා 2015 අගෝස්තු මුල සතියේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.