කුමාරිකා සහ බේබි ශෙරමි සන්නාම නේපාලයට

    August, 14, 2020

    ශ්‍රී ලාංකේය හදවත් දිනූ ළමා නිෂ්පාදන සහ හිසකෙස් සත්කාර සන්නාම වන  බේබි ශෙරමි (Baby Cheramy) සහ කුමාරිකා (Kumarika) සන්නාම නේපාල වෙළඳපොළට හඳුන්වා දීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම (Hemas Consumer Brands) පසුගියදා කටයුතු කළේය. නේපාලයේ එවරස්ට් හෝටලයේදී පැවති එම අවස්ථාව සඳහා නේපාලයේ හිටපු අගමැති ගරු ජාලා නාත් ඛනල්, හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝයි ජෝසප්, නේපාලයේ හේමාස් බ්‍රෑන්ඩ්ස් විධායක බෙදාහැරුම්කරු හජුර්ලායි නමස්තේ ට්‍රේඩ් ලින්ක් සමාගමේ සභාපති ටාරා බහධුර් කුන්වාර් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

    "නේපාලය දක්වා අපගේ නාමය ව්‍යාප්ත කිරීමට හැකි වීම පිළිබඳවත්, අපගේ සන්නාම නේපාල ජනතාව වෙත බෙදා හැරීම සඳහා නිවැරදි ම හවුල්කරු සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳවත් අප බෙහෙවින් සතුටු වනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින සහ තවත් රටවල් රැසක පාරිභෝගිකයන් අත්විඳින අපගේ නිෂ්පාදනවල යහගුණය නේපාල ජනතාවට අත්විඳිමට අවස්ථාව මෙමඟින් උදා වනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ නොමඳ විශ්වාසය දිනාගත් සන්නාම ආසියානු කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ සහ වෙනත් විශාල වෙළඳපොල තුළ ඇති අවස්ථා පුළුල් කිරීමේ අපගේ ක්‍රමෝපායික සැලසුමේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාප්ත කිරීම සිදු කිරීමට අප කටයුතු කළා. ඉහල ඉල්ලුමක් ඇති සන්නාම මඟින් නව වෙළඳපොල වෙත පිවිසීමට අමතරව, හේමාස් මැනුෆැක්චරින් සමාගම (Hemas Manufacturing)   ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත කුමාරිකා හෙයාර් ඔයිල් නිෂ්පාදන මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කිරීමට ද කටයුතු, කර තිබේ" යනුවෙන් හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රෝයි ජෝසප් මහතා සඳහන් කළේය.

    විශිෂ්ටත්වය වෙනුවෙන් හේමාස් මැනුෆැක්චරින් සමාගමේ (Hemas Manufacturing)  ජාත්‍යන්තර ව්‍යාපාරික අංශය දක්වන කැපවීම තහවුරු කරමින් එම සමාගම 2019 වසරේ ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී 'වෙනත් කර්මාන්ත නිෂ්පාදන කාණ්ඩය' යටතේ රන් සම්මානය ද, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ අපනයන සන්නාමයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමටද සමත් විය.

    දශක ගණනාවක් පුරා කාන්තාවන්ගේ විශ්වාසය දිනූ කුමාරිකා (Kumarika) නිෂ්පාදන පෙළ, නැවුම් ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් නිමැවෙන ප්‍රමිති සහතික හිමි දේශීය හෙයාර් කෙයාර් සන්නාමයක් ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. 'සොබාදමින් සොබාරුවට' සන්නාම ප්‍රතිඥාව සමඟින් කුමාරිකා සන්නාමය කුමාරිකා හෙයාර් ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් සහ සීරම් යන පුළුල් නිෂ්පාදන පෙළ මඟින් කාන්තාවන්ගේ වරලස සරසන සත්කාරකයන් පිරිනැමීමට මහත් කැපවීමෙන් කටයුතු කරයි. කුමාරිකා (Kumarika)  යනු හිස කෙස් සහ හිස්කබලට අවශ්‍ය පෝෂණ සත්කාරයක් ලබා දෙමින් හිසකෙස් වැටීම, හිසකෙස් කැඩී යාම සහ හිස්සොරි ආදී ප්‍රකට ගැටළු රැසකට කදිම විසඳුමකි.

    1962 වසරේදී හඳුන්වා දෙන ලද බේබි ශෙරමි (Baby Cheramy), තම දරුවාගේ සම සුරකින නිෂ්පාදනයක් ලෙස මවුවරුන්ගේ නොමඳ විශ්වාසය දිනා ගත් ප්‍රමුඛත ම සන්නාමයකි. SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ සන්නාමය මෙන්ම තවත් ඇගයුම් රැසකට පාත්‍ර වීම බේබි ශෙරමි හිමිකර ගෙන ඇති එම විශ්වාසය මනාව පිළිබිඹු කරයි. බේබි ශෙරමි සබන්, ක්‍රීම්, කොලෝන්, ටැල්ක් සහ ඔයිල් බේබි ශෙරමි නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. තම කිරිකැටියාගේ සම සුරකින සන්නාමයක් ලෙස වසර 57 කට අධික කාලයක් පුරා මවුවරුන් විසින් නිර්දේශ කරන ලද බේබි ශෙරමි යුරෝපය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී රටවලට ද අපනයන කෙරේ.

    හේමාස් මැනුෆැක්චරින් සමාගම (Hemas Manufacturing) , වසර 70 ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මෙරට විශාලත ම සමාගම් සමූහයක්වන හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයට අනුබද්ධිත සමාගමකි. හේමාස් සමාගම මෙරට සුවසේවා, ඖෂධ, ප්‍රවාහන, විනෝද සහ නිෂ්පාදන යන අංශවල පුරෝගාමී නාමයකි. දිනපතා මිලියන ගණනක් වූ පාරිභෝගික ජනතාවගේ ජීවිත ස්පර්ශ කරමින් හේමාස් සන්නාමය යටතේ වඩාත් විශ්වසනීය සහ අගනා පාරිභෝගික භාණ්ඩ රැසක් වෙළඳපොලට නිකුත් කෙරේ. එම සමාගමේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරය ආදී රටවල ද එහි මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.