ඇඟිලි සලකුණ සහිත අළුත් විදෙස් ගමන් බලපත්‍රය දීම ඇරඹේ. සේයාරූ ගැනීම හැමතැනින්ම බෑ

    August, 10, 2015

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික දත්ත ලබාගනිමින් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම ආරම්භ කරන බව රජය සඳහන් කරයි.

    මෙම නව සැකැස්මත් සමඟ, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සංචාරක ලියකියවිල්ලක් බවට පත්වන බව රජය පවසා තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ සඳහන් කරන්නේ මේ සඳහා සියලු අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම අනිවාර්ය බැවින් සිය විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලට අදාළ පුද්ගලයා විසින්ම පැමිණ බාරදිය යුතු බවයි.

    මෙහිදී, සෑම අයදුම්කරුවෙකුම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ ඡායාරූප ලබාගත යුතු බැවින් දෙපාර්තමේන්තුවෙන් අවසරලත් දිවයින පුරා පිහිටා ඇති ඡායාරූපාගාර හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හෝ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටුවා ඇති ඡායාරූපාගාර වලින් පමණක් ඡායාරූප ලබාගත යුතුව ඇත.

    එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඔවුන් දිවයිනට ආපසු පැමිණි පළමු අවස්ථාවේදී, ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ගොස් සිය ඇඟිලි සලකුණු ඉදිරිපත් කළ යුතුබව රජය සඳහන් කරයි.

    නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ආරම්භ වුවත් පැරණි ගමන් බලපත්‍රය අවලංගු නොවන බව රජය වැඩිදුරටත් කියා ඇත.