කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන්ම ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

    September, 2, 2020

    ව්‍යවසායකයින්ට තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා විශේෂ ප‍්‍රතිලාභ මාලාවක් සහ නොමිලේ සේවා ප‍්‍රදානය කරයි

    කොමර්ෂල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන් තිබෙන කැපවීම පෙන්නුම් කරමින් එම ක්ෂේත‍්‍රය වෙනුවෙන් වෙනමම ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දී ඇත.

    මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන් වැඩිම ණය මුදලක් ලබාදෙන්නෙකු ලෙස කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථ දක්වා තිබෙන පරිදි සහ සම්මත ණය ඇගයීමේ ක‍්‍රමවේදයට අනුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට ඇතුළත් වන ව්‍යවසායකයින් වෙනුවෙන් මාස්ටර්කාඞ් සන්නාමයෙන් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නිකුත් කරනු ඇත. බැංකුව සඳහන් කරන්නේ බැංකුවේ ‘බිස් ක්ලබ්’ සාමාජිකයින්ට මෙම ක්‍රෙඩිට් කාඞ්පත ComBank Biz Club SME Credit Card යන නමින් සහ අනිකුත් සාමාජිකයින්ට ComBank Business SME Credit Card යන නමින් ලබාදෙන බවයි.

    මෙම කාඞ්පත මගින් කාඞ්පත් හිමියන්ට අමතර ප‍්‍රතිලාභ රැසක් ලබාදෙන අතර පළමු වසරේ එකතුවීමේ ගාස්තුව සහ වාර්ෂික ගාස්තුව අය නොකිරීම, කොමර්ෂල් බැංකුවේ ජංගම දුරකතන බැංකුකරණ (USSD සහ SMS) සේවාව සඳහා නොමිලේ ප‍්‍රවේශවීම, බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතියේ නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව සහ එය භාවිතා කිරීමේදී පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස්වීම, බැංකුවේ තොග ගෙවීම් පද්ධතිය වන පේමාස්ටර්හි නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව, එය භාවිතා කිරීමේදී පළමු මාසයේ ගාස්තුවෙන් නිදහස්වීම සහ විදේශ සංචාර වලදී ගමන් රක්ෂණයක් හිමිකර ගැනීමේ අවස්ථාව මෙම අමතර ප‍්‍රතිලාභ වලට අයත් වේ.

    මෙම අංශයේ කාඞ්පත් වෙනුවෙන්ම මාස්ටර්කාඞ් විසින් පවත්වන ජාත්‍යන්තර සහ දේශීය ප‍්‍රදානයන් ලබාගැනීමට මෙම සුළු හා මධ්‍යම පරිමාණ ක්‍රෙඩිට් කාඞ්පත වලංගු බවත් මෙම කාඞ්පත මගින් වියදම් කරන සෑම රුපියල් 400 කටම කොමර්ෂල් බැංකුවේ මැක්ස් ලෝයල් පොයින්ට් එකක් එකතු කරගැනීමේ අවස්ථාව කාඞ්පත් හිමියන්ට ලැබෙන බව ද බැංකුව සඳහන් කරයි.

    සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට අගය එකතු කිරීම සඳහා බැංකුව විසින් 2017 වසරේදී ‘බිස් ක්ලබ්’ ආරම්භ කළ අතර එහි අරමුණ වූයේ මෙම ක්ෂේත‍්‍රයට ණය ලබාදීමට අමතරව ඔවුන්ට නැවුම් අවස්ථාවන් විවර කර ගැනීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ අවස්ථාව උදාකිරීමයි. එසේම, මෙම සාමාජිකයින්ට බැංකුව විසින් විශේෂ සහන සහ ඔවුන්ටම වෙන්වූ ‘බිස් ක්ලබ්’ ඩෙබිට් කාඞ්පතක්ද හඳුන්වා දී තිබේ.  මීට අමතරව, මෙම සාමාජිකයින්ට ඊ-මේල් සහ කෙටි පණිවුඩ මාර්ගයෙන් නව ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ආර්ථික තොරතුරු සහ පුවත් බැංකුව විසින් ලබාදෙන අතර අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සඳහා නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාවද ලබාදී ඇත. මෙම සාමාජිකයින්ට බැංකුව විසින් නොමිලේ මූල්‍ය උපදේශන සේවාවක් සහ ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා දැනුම ලබාදෙන සම්මන්ත‍්‍රණ සඳහා සහභාගී වීමේ අවස්ථාව ලබාදී තිබේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.