mCash වෙළෙඳුන්ට LANKAQR ගෙවීම් සඳහා අවස්ථාව සලසමින් මොබිටෙල්, කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැඳගනී

    October, 16, 2020

    LANKAQR යටතේ ලියාපදිංචි වී සිටින ඕනෑම ජංගම දුරකතන ගෙවීම් ඇප් පහසුකමකින් කොමර්ෂල් බැංකුවේ අති නවීන Q Plus QR එන්ජිම ඔස්සේ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම සඳහා mCash වෙළෙඳුන්ට අවස්ථාව ලබාදීමට කොමර්ෂල් බැංකුව, මොබිටෙල් සමාගම සමග ඒකාබද්ධ වී තිබේ.
    මෙම ඒකාබද්ධතාවය නිසා ගනුදෙනු කිරීමට ගතවන කාලය අඩුවීම සහ ආරක්ෂාකාරී, වේගවත් මෙන්ම කාර්යක්ෂම පද්ධතියක් ඇඟිලි තුඩටම ලැබීම හේතුවෙන් වෙළෙඳුන්ට සහ ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් ඇතිවන බව බැංකුව සඳහන් කරයි.

    LANKAQR සහ mCash ඒකාබද්ධවීම නිසා සුළු හා මධ්‍යම පරිමාණයේ සිට මහා පරිමාණ mCash වෙළෙඳුන්ට LankaQR, Visa QR හෝ මාස්ටර්පාස් සහායක QR ගෙවීම් ජංගම දුරකතන ඇප් පහසුකම් භාවිතා කරන ගනුදෙනුකරුවන්ගෙන් පහසුවෙන් ගෙවීම් පිළිගැනීමට අවස්ථාව උදාවේ.
    මේ අනුව, mCash වෙළෙඳුන් විසින් LANKAQR කේතයන් නිකුත් කරනු ලබන අතර LankaPay, Visa සහ Mastercard ජාලයන් හරහා එවනු ලබන ගෙවීම් පිළිගනු ලබයි. මෙම QR කේතයන් ලංකාපේ විසින් සහතිකකරණය කර තිබෙන අනිකුත් ගෙවීම් අයදුම් සමග ද ගැළපේ.

    මෙහිදී, ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් mCash වෙළෙඳ ආයතනයකදී QR කේතයක් ස්කෑන් කර තමන් කැමති ජාලයකින් ජංගම දුරකතන පදනම් කරගත් QR ගෙවීම් කළ හැකිවේ. මෙම ගනුදෙනුව කොමර්ෂල් බැංකුවේ Q Plus එන්ජිම සහ mCash වොලට් හරහා සැලසෙන අතර ඉතාමත් කෙටි කාලයකින් ආරක්ෂා සහිත ගනුදෙනුවක් කිරීමට මින් අවස්ථාව සැලසේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ සිට සිව් වැන්නා) සහ මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී, ශෂික සෙනරත් මහතා ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට) මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් සහකාර කළමනාකරු - ජංගම දුරකතන මූල්‍ය සේවා, ගයාන් කළුගමගේ මහතා, ජංගම දුරකතන මූල්‍ය සේවා කළමනාකාරිණි, රිෂානි ගුණරත්න මෙනෙවිය සහ අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඉසුරු දිසානායක මහතා, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා, කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා සහ කාඞ්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සීවලි වික‍්‍රමසිංහ මහතා සහභාගී විය.