ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ආයෝජන, අපනයන, සංචාරක සහ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
කොවිඩ්-19 වෛරසය මර්දනය සඳහා රජය නීති පනවමින් හා ඒවා බලාත්මක කරමින් ප්රතිචාර දක්වන ආකාරය තානාපතිවරයාගේ ඇගයීමට ලක් විය.
සෞඛ්ය මාර්ගෝපදේශ ක්රියාත්මක කිරීම හා ලොක්ඩවුන් කිරීම නිසා සියලු දෙනාට ම අසීරුතාවලට මුහුණපෑමට සිදු වුව ද සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ශ්රී ලංකාව කොවිඩ් වෛරසයට එරෙහිව කටයුතු කරන ආකාරය අගය කරන බව පැවසූ තානාපතිවරයා, මෙම ක්රියාදාමයේ ආරක්ෂිත බවක් තමන්ට දැනෙන බවට සිය විශ්වාසය ද පළ කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිර යාම වැළැක්වීම සඳහා රජය දරන උත්සාහයට දායක වීම සඳහා ස්විස් රජය කටුනායක ගුවන්තොටුපළේ පී.සී.ආර්. (PCR) පරීක්ෂණ වේගවත් කිරීමේ පහසුකම් සපයන උපකරණ ශ්රී ලංකාවට ලබා දී ඇත.
මෙම වසංගත තත්ත්වය පහව ගිය වහාම ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය පුනර්ජීවනය කිරීමට ස්විස් රජය සහයෝගය දක්වන බව තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා මෙහිදී අවධාරණය කළේ ය. ඒ යටතේ ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පුහුණුව ලබා දීම සහ විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට සූදානමින් සිටින බව මෙහි දී අනාවරණය විය.
ඉදිරියේ දී දෙ රට අතර ක්රියාත්මක කළ හැකි ආයෝජන සහ අපනයන පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා විය.
ආර්ථික සංවර්ධනය රජයක ප්රමුඛ කාර්යභාරයක් වන බව කියා සිටි තානාපතිවරයා ශ්රී ලංකාව තුළට ස්විස් ආයෝජන වැඩි වශයෙන් ගෙන ඒමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.
ස්විස් රජය මේ වන විට ශ්රී ලංකාවේ 8 වන විශාලතම ආයෝජකයා වන අතර ශ්රී ලංකාව ප්රධාන වශයෙන් ඇඟලුම්, තේ, මුහුදු ආහාර සහ මැණික් හා ස්වර්ණාභරණ ස්විට්සර්ලන්තයට අපනයනය කරයි. අපනයන සම්බන්ධයෙන් ජීඑස්පී+ පහසුකම යටතේ වැඩි ප්රතිලාභ ලබා ගැනීම සඳහා ශ්රී ලංකාව ස්විට්සර්ලන්තයට සිදුකරන අපනයන තව දුරටත් ඉහළ නැංවිය හැකි ක්රම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.