හම්බන්තොට අක්කර 400ක ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ කලාපයක්. ආයෝජකයන්ට සහන හා දිරි ගැන්වීම්

    November, 10, 2020

    ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳු බව දුරලීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් සෘජු විදේශීය ආයෝජන ආකර්ශනය කර ගත හැකි සහ විදේශ විනිමය උපයා ගැනීම සඳහා විභවයක් ඇති කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇත.
    ඒ අනුව, හම්බන්තොට, ආරබොක්ක වතුයායෙහි අක්කර 400ක භූමි ප්‍රමාණයක, ලෝකයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ශනය කර ගැනීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
    උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කොට මෙම ඖෂධ නිෂ්පාදන කලාපයේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන් සඳහා අදාළ වන සහනයන් හා දිරි ගැන්වීම් ලබා දීමට අපේක්ෂා කෙරේ.
    එම ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස අක්කර 200ක් තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් 20ක් පිහිටුවීමට හා දෙවන අදියර ලෙස තවත් අක්කර 200ක් තුළ තවත් ඖෂධ නිෂ්පාදන සමාගම් 20ක් පිහිටුවීමටත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.