මාස 09 කදී රු. කෝටි දසදහසක සිගරට් බීලා. ආණ්ඩුවට රු. කෝටි 8,500 ක් බදු ගෙවයි

    November, 11, 2020

    පහළ ගිය සිගරට් අලෙවිය 2020 තෙවන කාර්තුවේ දී යළි සාමාන්‍ය අතට. දුම්කොළ සමාගමේ ආදායම 26%කින් වැඩිවෙද්දී රජයේ බදු ආදායම 28%කින් වැඩිවෙලා

    ලංකා දුම්කොළ සමාගම 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. මෙහිදී සමාගම පවසන්නේ ආසන්න වශයෙන් පූර්ව කොවිඩ්-19 මට්ටමට සමාගමේ අලෙවිය පැමිණ ඇති බවයි. මෙහිදී අදාළ කාර්තුව තුළ දී සමාගමේ ආදායම 26%කින් සහ රජයට ලබා දුන් බදු ආදායම 28%කින් වැඩි වී ඇත.

    ලංකා දුම්කොළ සමාගමේ ආදායම 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 44.58 ක් ලෙසින් වාර්තා වේ. සමස්තයක් ලෙසින් ගත් කළ 2020 මුල් මාස 09 දී සමාගමේ සමස්ත ආදායම රු. බිලියන 103 ක් හෙවත් රු. කෝටි 10,300 කි. මෙහිදී රජයේ බදු ලෙසින් රු. බිලියන 78.13 ක් සහ ආදායම් බදු ලෙස රු. බිලියන 7.44 ක් ගෙවා තිබේ.

    මෙම කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමට පෙර ලාභය රු. බිලියන 8.5 ක් වන අතර බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 4.9 ක් ලෙසින් වාර්තා වේ.

    2020 මුල් මාස 09 අවසානයේ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 11.96 ක් වේ.

    සිය කොටස්කරුවන් වෙනුවෙන් කොටසකට රු. 19.00 ක් බැගින් වූ ලාභාංශයක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

    කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්තිය ඇරඹි මුල් වකවානුව වූ 2020 අප්‍රේල් - ජූනි කාර්තුව තුළ දී සිගරට් අලෙවිය 38%කින් පහළ ගිය බව ලංකා දුම්කොළ සමාගම මීට පෙර ප්‍රකාශ කර සිටියේය.

    ලංකා දුම්කොළ සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලම සමාගම වන අතර සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 7%කට එය හිමිකම් කියනු ලබයි.