කොවිඩ් මධ්‍යයේ වුව ද Capitol TwinPeaks, දකුණු ආසියාවේ උසම ගුවන් පාලම ස්ථාපනය කිරීම අරඹයි

    December, 7, 2020

    සන්කෙන් සමූහයට අයත් කැපිටල් ඩිවලොපර්ස් සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් ආයතන ඉදිරිපත් කරන රුපියල් බිලියන 25ක දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන Capitol TwinPeaks හි ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. කොළඹ 2, බේරේ වැව ඉදිරිපිට ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිලි යුග්මයේ 50 වැනි මහලේ මෙම ගුවන් පාලම නිර්මාණය කෙරේ.

    මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දකුණු ආසියාවේ ගොඩනැගිල්ලක උසින්ම පිහිටි ගුවන් පාලම ඉදිකිරීමේ සැලසුම 2019 වසරේදී එළිදැක්වුණි. සමස්ත ව්‍යාපෘතිය 2021 ජුනි මාසය අවසානයේදී සම්පූර්ණ කිරීමට නියමිත ය. කොවිඩ්-19 දෙවැනි රැල්ල හමුවේ මෙරට බොහෝ කර්මාන්තවලට විශාල බලපෑමක් එල්ල වී තිබුණ ද, Capitol TwinPeaks ඉදිකිරීම් අඛණ්ඩව සිදුවූ අතර 2020 ඔක්තෝබර් 29 ගුවන් පාලම ස්ථාපනය කිරීමේ වැඩ කටයුතු ද ආරම්භ විය.

    “මෙම ගුවන් පාලම Capitol TwinPeaks ව්‍යාපෘතිය තුළ දක්නට ලැබෙන සුවිශේෂී නිර්මාණ සැලසුමක් හා ඉදිකිරීම් විශේෂාංගයක් ලෙස හැඳින්විය හැකියි. එය දකුණු ආසියාවේ ගොඩනැගිල්ලක උසින්ම පිහිටි ගුවන් පාලම වීම, ශ්‍රී ලංකාවටත් විශාල වැදගත්කමක් එකතු කරනවා. ඒ වගේම සුඛෝපභෝගී ජීවන රටාවක් පිළිබඳ කැමැත්තක් දක්වන කාටත් ඊට ඇති හොඳම තෝරාගැනීම බවට කොළඹ නගරයත්, Capitol TwinPeaks ව්‍යපෘතියත් පත්කිරීමටත් ඉන් ලැබෙන දායකත්වය විශාලයි. වීදුරු කවුළුවලින් සමන්විත බිම්තලයක් සමඟ නිර්මාණය වන නැරඹුම් ස්ථානයක් ලෙස ඉදිකෙරෙන මෙම ගුවන් පාලම, අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පය හා ඉංජිනේරු ශිල්පය තුළ සුවිශේෂී කඩඉමක් ලෙසත් සැලකිය හැකියි”, යනුවෙන් කැපිටල් ඩිවලොපර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා පැවසීය.

    පොළොව මට්ටමේ සිට මීටර් 174.2ක් (අඩි 572) උසින් ඉදිවන මෙම ගුවන් පාලම අපූර්ව ඉංජිනේරු නිමැවුමකි. අඩි 30ක (මීටර් 4.2) දිගින් යුත් මෙම ගුවන් පාලම මහල් 50ක් උසැති ගොඩනැගිලි යුගලය එකට යා කරමින් නිර්මාණය වීම ද විශේෂත්වයකි.

    “අපි 2021 ජුනි මස අවසානයේදී Capitol TwinPeaks ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කරගෙන උපරිම වේගයෙන් ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටිනවා. විශේෂයෙන්ම වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල්, බොහෝ කර්මාන්ත අඩාල වී තිබුණත් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට හැකිවීම, සන්කෙන් සමූහය සතු හැකියාව හොඳින් විදහා දක්වනවා. මෙම ගුවන් පාලමේ අරමුණ, 50 වැනි මහලේ අන්තර්ගත සුවිශේෂී පහසුකම් නේවාසික ජනතාවට හිමිකර දෙමින් ගොඩනැගිලි දෙක එකිනෙක යා කිරීම පමණක් නොවෙයි. එය මෙම ව්‍යාපෘතිය තුළ පවතින සුවිශේෂී ඉංජිනේරු අභියෝගයක් ලෙසත් නිරූපණය කෙරෙනවා”, යනුවෙන් වන්නිගම මහතා වැඩිදුරටත් පැවසීය.

    අධික සුළං වේගය මෙන්ම භූමි කම්පා ආදියට පවා ආරක්ෂිතව මුහුණ දිය හැකි අයුරින් මෙම ගුවන් පාලම ඉදිකිරීම වෙනුවෙන් ගැඹුරු පර්යේෂණ හා අත්හදා බැලීම් රාශියක් සිදුකිරීමට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය පියවර ගෙන තිබුණි. ඒ අනුව elastomeric bearings, slide bearings හා friction pendulum seismic isolation bearings වැනි ඉදිකිරීම් උපාංග රැසක් ගුවන් පාලම ගොඩනැගිල්ලට සම්බන්ධ කරන ස්ථානවලට යොදා පරීක්ෂා කර බලා, අවසානයේදී ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද slide bearings වර්ගයක් ඊට භාවිත කර තිබේ. එමෙන්ම පහළ වායුගෝලයේ ඇතිවිය හැකි අධික කැළඹීම් තත්වයකදී වුව ද, පාලම මත සිටින අයට මෙන්ම, ගොඩනැගිල්ලේ සිටින අයට ද ගුවන් පාලම හරහා ආරක්ෂිතව එහා මෙහා යාමට අවකාශ සලසා තිබීම ද කැපීපෙනේ.