December, 14, 2020
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන එස් ඇන්ඩ් පී විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C දක්වා පහළ දැමූ බව පසුගිය සිකුරාදා (11) නිවේදනය කර සිටියේය. මීට පෙර තවත් ලොව ප්රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය Issuer Default Rating (IDR) ශ්‍රේණිය 'CCC' දක්වා පහළ හෙළීමට නොවැම්බර් 27 දින පියවර ගෙන තිබුණි. තවද 2018 නොවැම්බර් මස 20 වන දින මූඩීස් ආයෝජන සේවා ආයතනය (මූඩීස්) විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (සෘණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට කටයුතු කර තිබුණි.
මේ අතර පසුගිය (11) දා අද දෙරණ Bid Focus සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ඇතැම් තීරණ අසාධාරණ බවයි. එසේම ඔවුන් රටවල් 39 ක ශ්‍රේණීන් පහළ හෙළීමට කටයුතු කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සමබන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවේය.
“ඒ සමහරක් ඒවා අසාධාරණයි. මේ වෙලාවේ මුළු ලෝකයේම ප්‍රශ්න තියෙනවා. රටවල් 39ක රේටිංග්ස් අඩුකරලා තියෙනවා. එතන දී බලන්නට අවශ්‍යයි, අපේ රටේ ගන්න තීරණ මොනවාද කියලා.“
“අපේ රටේ ණය වැඩිවීමට හේතු කිහිපයක් තිබුණා. පසුගිය කාලය තුළ දී පසුගිය රජය වැඩිපුර විදේශ විනිමය ණය ගත්තා. ඒ කියන්නේ පිටරට මුදල්වලින් ගත්ත ණය ප්‍රමාණය ඉතාමත්ම ඉහළයි. සාමාන්‍යයෙන් අපේ ණය ප්‍රමාණයෙන් සියයට 40 ක් තමයි තිබුණේ විදේශීය මුදල්වලින් ආපු ණය. සියයට 60ක් තිබුණේ ලංකාවේ මුදල්වලින් ආපු ණය. ඒ වුණාට අපි දැකපු දේ තමයි ඒ අය පසුගිය අවුරුදු 5ක කාලය තුළ දී පමණක් මේ පිටරට ණය ඉතාමත්ම ඉහළ මට්ටමකට වැඩි කර ගත්තා. සියයට 50-50 වගේ තමයි තිබුණේ.“
“දැන් ඒක නැවත වරක් අඩුකර ගන්නට අවශ්‍යයි. එතනදී යම්කිසි අවදානමක් මම දකිනවා, ඒ අවදානම කළමනාකරණය කර ගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියලා තියෙන්නේ අපේ රටේ පිටරට මුදල් වැඩි කර ගැනීමෙන් වැළකී සිටීම. ඒ වගේම අපේ රටේ ණය බරතාවයෙන් විශාල කොටසක් රුපියලේ අවප්‍රමාණය වීම නිසා පමණක්ම සිදුවුණා.“
Video Story