September, 15, 2015
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයට අදාළ ගිවිසුම් වලට ලබන වසර මැද වනවිට පැමිණීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව දිල්ලි නුවරදී විශ්වාසය පළ කළේය.
ඔහු පැවසුවේ ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය වසර 2500 ක් තරම් පැරණි එකක් බවත් තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයින් ලංකාවට පැමිණි කාල වකවානුව දක්වා එය දිවයන්නක් බවයි.
ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය පිළිබඳව දීර්ඝ කාලයක් සාකච්ඡා කරන බවත් අඩුම ගණනේ මේ සම්බන්ධයෙන් දෙරටට මේ වසර අවසන් වනවිට හෝ යම් රාමුවක් සකස් කර ගැනීමට හැකිවනු ඇති බවත් මෙහිදී වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.
නව රජයට ඉන්දියාව සමග වෙළඳ සහ ආයෝජන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යෑමට වරමක් ඇතැයි පැවසූ වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නව රජය සුවිශේෂී මෙන්ම ඓතිහාසික එකක් බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 02 ක කාලයක් සඳහා එකතු වී තිබෙන බවත් තුන්වන විශාලතම පක්ෂයට විපක්ෂ නායකත්වය ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පැවසුවේ දෙරට අතර ගැඹුරු ආර්ථික සහභාගීත්වයක් ඇති කිරීමට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම කැමැත්තෙන් සිටින බවයි.
දෙරට අතර වෙළඳාම වර්ධනය වීම වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීය.
මේ අනුව, වෙළඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් ඉදිරියේදී ද්වි පාර්ශවික ක්‍රියා මාර්ග ගැනීමට දෙරටේ අවධානය යොමුවී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, ප්‍රවාහන, බලශක්තිය යන අංශවල ආයෝජනය කරන ඉන්දීය ව්‍යවසායකයින්ට සහාය ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් නරේන්ද්‍ර මෝඩි සඳහන් කළේය.
සෙපා (CEPA) කොයිබටද ?
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක වේ.
දෙරට අතර භාණ්ඩ වෙළඳාම නිදහස් කිරීමෙන් ඔබ්බට ගොස් සේවා වෙළඳාමද නිදහස් කිරීමේ අරමුණෙන් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සෙපා ගිවිසුම අත්සන් කිරීමට යෝජනා කර තිබුණද එල්ල වූ විරෝධතා හමුවේ පසුගිය රජය විසින් එම ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලදී.
ශ්‍රී ලංකාවේ වර්තමාන රජය මෙම ගිවිසුම නැවතත් අත්සන් කිරීමට සූදානම් වන්නේ යැයි යළිත් මෙරට විරෝධතාවයන් මතුව තිබෙන අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම මෙම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූයේ නැත.
කෙසේවෙතත්, අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා සඳහන් කරන ආර්ථික සහයෝගීතාවයට අදාළ ගිවිසුම් වලට මෙම ගිවිසුමද ඇතුළත් වනවාදැයි සාධාරණ ප්‍රශ්නයක් මතුවේ.
දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අද නවදිල්ලියේදී පැවැත්වූ මාධ්‍ය හමුව මෙන්න!
Video Story