SLIIT උපාධි පාඨමාලා හදාරන සිසුන්ට ණය ආධාර පහසුකම්

    January, 6, 2021

    2019 වසරේදී උපාධිධාරීන් 306කට රුපියල් මිලියන 125ක SLIIT ණය ආධාර

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව දියත් කරන උසස් අධ්‍යාපන ණය ආධාර පිරිනැමීමේ වැඩසටහන යටතේ නව වසරේදී ද නවක විද්‍යාර්ථයින් වෙනුවෙන් උසස් අධ්‍යාපන ණය ආධාර පිරිනැමීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය පියවර ගෙන තිබේ. මෙම ණය වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා උපරිම රුපියල් ලක්ෂ 8ක පොලී රහිත ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ.

    උසස් අධ්‍යාපන අමාත්‍යංශයේත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේත් අනුමැතිය හිමි කරගෙන සිටින SLIIT, මෙම ණය වැඩසටහන යටතට ගැනෙන උපාධි පාඨමාලා කිහිපයක් ම පිරිනමයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය, ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය, භෞතික විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය, ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය යනාදිය ඒ අතර වේ. මෙම ණය පහසුකම හිමිවන්නේ වසර 4ක කාලයකට පාඨමාලා ගාස්තු ආවරණය කිරීමට පමණි. එම රුපියල් ලක්ෂ 8ක මුදල් ප්‍රමාණය SLIIT පිරිනමන ඉහත කී උපාධි පාඨමාලාවන්හි සාමාන්‍ය ගාස්තුවට වඩා අඩු අගයක් ගත්ත ද, සිසුන්ට අඛණ්ඩව තම අධ්‍යාපන කටයුතු හැදෑරීම වෙනුවෙන් ඉතිරි පාඨමාලා ගාස්තුව ද ආධාර වශයෙන් පිරිනැමීමට SLIIT පියවර ගෙන තිබේ.

    මෙසේ රජය මගින් හිමිවන පොලී රහිත ණය මුදල මෙන්ම, SLIIT වෙතින් හිමිවන ආධාර මුදල ද සිසුන්ට දැවැන්ත ශක්තියක් වී තිබේ. මෙම රුපියල් ලක්ෂ 8ක ණය මුදල වසර 7-8 කාලයක් තුළ ගෙවා නිම කිරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ. උපාධිය ලබාගැනීමෙන් වසරක් දක්වා ණය සහන කාලයක් ලබාදී තිබීම, සිසුන්ට හිමිවන තවත් පහසුකමකි.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන සංවර්ධන හා ප්‍රමිති සහතිකකරණ අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොලින් එන්. පීරිස් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් හඳුන්වා දී ඇති ණය වැඩසටහන සිසුන්ට විශාල අවස්ථාවක් උදා කර දී ඇති බව ය. “උසස් පෙළ අවසන් කිරීමෙන් පසු ඕනෑම සිසුවෙකුගේ ජීවිතය තුළ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් එළඹෙනවා. එම සිසුන්ට සහාය වීමේ අවශ්‍යතාවය SLIIT මැනවින් අවබෝධ කරගෙන සිටිනවා. අප පිරිනමන විවිධ උපාධි පාඨමාලා හැරුණු විට අමතර ආධාර මුදලක් ඔවුන්ට ලබාදෙන්නේත් ඒ නිසායි. සිසුන්ට තම උපරිම හැකියාවන්, විභවතාවන් ළඟාකරගැනීම සඳහා හැකි සෑම අවස්ථාවක් ම ලබාදීමට SLIIT කැප වී සිටිනවා”, මහාචාර්යවරයා විස්තර කළේය.

    මුල් වරට 2017 වසරේදී රජයේ අයවැය ප්‍රතිපාදන හරහා මෙම ණය වැඩසටහන හඳුන්වා දෙන ලදී. මේ වසරේදී ද මෙම වැඩසටහන යළි හඳුන්වා දී ඇත්තේ තවත් උපාධිධාරීන් 10,000ක් බිහිකිරීමේ පරමාර්ථය සමඟිනි. ඒ හරහා මෙරට ආර්ථික හා සමාජයීය සංවර්ධනයට උර දෙන දියුණු මානව සම්පතක් බිහිකරගැනීම අපේක්ෂා කෙරේ.  

    2019 වසරේදී පමණක් සිසුන් 306 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 125ක අතිරේක ණය ආධාර මුදලක් දැරීමට SLIIT පියවර ගෙන තිබීම කැපී පෙනේ.  අපොස උසස් පෙළ විභාගයේදී ප්‍රධාන විෂයන් තුනට ම අවම වශයෙන් එස් සාමාර්ථ තුනක් ලබාගත් හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් සපුරා ඇති සිසුන්ට මෙම ණය පහසුකම අත්විඳීමේ අවස්ථාව උදා වේ.

    වාර්ෂිකව 1,500කට වැඩි රැකියාලාභී උපාධිධාරී පිරිසක් බිහි කරමින්, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට ගත වූ කාලසීමාව මුළුල්ලේ SLIIT විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. විශේෂයෙන් ම විදෙස් විශ්ව විද්‍යාල හා මෙරට ඉහළ පෙළේ පුද්ගලික සහ රාජ්‍ය ආයතන සමඟ SLIIT පවත්වාගෙන යන ශක්තිමත් සබඳතා හේතුවෙන් පරිපූර්ණ උසස් අධ්‍යාපන අත්දැකීමක් සිසුන්ට සමීප කරවීමට ද ඊට හැකිවී ඇත.