කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 7 ක දෛනික පිරිවැටුමක් සමගින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාව පසුකරයි

    January, 6, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,036.76 ක් ලෙසින් වාර්තා වූ එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.90 ක ඉහළ යාමක් වේ. 2015 නොවැම්බර් 24 දිනට පසු ඒකක 7,000 සීමාව කරා සියලු කොටස් මිල දර්ශකය පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    2021 වසරේ පළමු ගනුදෙනු දින 3 තුළ දී මේ දක්වා සියලු කොටස් මිල දර්ශකය වසර ආරම්භයට සාපේක්ෂව 3.87%කින් වර්ධනය වී තිබේ.

    මේ අතර අද දින වාර්තාගත රු. බිලියන 7.15 ක පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. මෙහිදී දෛනික පිරිවැටුමෙන් 44% ක පංගුවක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් ගනුදෙනු හරහා සටහන් වීම තවත් විශේෂත්වයකි. සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු ලෙසින් රු. බිලියන 2.06 ක හා ගිවිසා ගනු ලැබූ (Crossing) ගනුදෙනු ලෙසින් රු. බිලියන 1.11 ක වටිනාකමකින් යුතු බ්‍රවුන්ස් ඉන්වෙසට්මන්ට්ස් කොටස් අද දින හුවමාරු විය. එසේම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය වෙනුවෙන් 19.73% ක දායකත්වයක් ලබා දීමට ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අද දින සමත් විය. තවද එම සමාගමේ කොටස් මිලියන 580 ක් අද දින ගනුදෙනු වී තිබුණි.

    මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි රු. මිලියන 377.64 ක වටිනාකමකින් යුතු කොටස් අද දින හුවමාරු වී ඇත.

    කෙසේ වෙතත් S&P SL20 දර්ශකයේ ඒකක 4.45 ක සුළු පහළ යාමක් අද දින වාර්තා විය.